යුක්තිය නවත්වන්නැයි මහජන ආරක්ෂක ඇමැතිට තර්ජනාත්මක ලිපියක් එයි

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් ගෙනයන යුක්තිය වැඩ පිළිවෙළ නවතන ලෙසට බලකරමින් තමාට තර්ජනාත්මක ලිපියක් ලැබී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට තැපැල් මගින් මෙම ලිපිය ලැබී තිබේ.

මෙරට සිටින කිසියම් පුද්ගලයකු විසින් තැපැල් මගින් මෙම තර්ජනාත්මක ලිපිය යොමුකර තිබෙන බවත් කුමන තර්ජන පැමිණියත් සිය වැඩ පිළිවෙළ නොනවත්වන බවත් ඇමැතිවරයා කීවේය.

අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වූ මහජන ආරක්ෂක ඇමැතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය හා පාතාලයේ වර්ධනයට රාජ්‍ය විරෝධී අරගලයද හේතුවී ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලය මර්දනය කිරීමේ සය මාසික සැලැස්මකට අනුව යුක්තිය මෙහෙයුම ආරම්භ කළ බවත් පාතාලයේ මුදල්වලින් යැපෙන කඩාකප්පල්කාරීන් මෙම මෙහෙයුමට බාධා පමුණුවන බවත් ඇමැතිවරයා කීවේය.

මෙම කල්ලිවලින් ජාත්‍යන්තර හා දේශීය වශයෙන් බාධක එල්ල වීමට පටන් ගෙන ඇති බවත් එම පිරිස් ජාත්‍යන්තරයට යවන පෙත්සම්වලට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරින් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළ බවත් ඇමැතිවරයා කීවේය. කවර මත පළවුවත් මෙහෙයුම කිසිවිටක අත් නොහරින බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *