බර අඩු කරගන්න පැය 16ක් නොකා ඉදිමෙන් හෘද අවදානම වැඩි කරන බව ඇමරිකානු පර්යේෂණයකින් අනාවරණය වෙයි

බර අඩු කර ගන්න දින­කට පැය 16ක් ආහාර නොගෙන සිටීම හෘද රෝග­ව­ලින් මිය යෑමේ අව­දා­නම 91%කටත් වඩා වැඩි කරන බව අමෙ­රි­කානු විද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­ය­කදී හෙළිව තිබෙන බව පේරා­දෙ­ණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිල­ධාරි පාලිත බණ්ඩාර සුබ­සිංහ මහතා පව­සයි.

බර අඩු කරන්න බොහෝ දෙනා විවිධ ආකා­රයේ බෙහෙත් වර්ග සහ උප­ක්‍රම මෙන්ම ආහාර සීමා කිරීම් සිදු කරන බවත් මේ අත­රින් පැය 16ක් නිරා­හා­රව සිටීම ශ්‍රී ලංකාවේ මෑත­කදී බෙහෙ­වින් ජන­ප්‍රිය වූ ක්‍රම­වේ­ද­යක් බවත් ඒ මහතා කීය.

ඉතිරි පැය අටේදී පම­ණක් ආහාර ගැනීම Intermittent fasting නම් ක්‍රම­වේ­දය ශ්‍රී ලංකා­වට අලුත් දෙයක් වුවත් බොහෝ කාල­යක් බට­හිර රට­වල අනු­ග­ම­නය කරන ලද්දක් බවත් කෙටි කාලී­නව මේ ක්‍රම­වේ­දය ඔස්සේ සාර්ථක ප්‍රති­ඵල ලැබුණ ද දිගු කාලීන ප්‍රති­ඵල සම්බ­න්ධ­යෙන් මෙතෙක් විධි­මත් අධ්‍ය­ය­න­යක් කර නොතිබූ බවත් නීති වෛද්‍ය නිල­ධා­රි­ව­රයා පැව­සීය.

පසු­ගිය වසරේ මාර්තු මස චිකාගෝ නග­රයේ දී පැවති අමෙ­රි­කානු හෘද රෝග සංග­මයේ (American Heart Association) වාර්ෂික විද්‍යා­ත්මක සැසි­වා­ර­යේදී මේ සම්බ­න්ධව කරන ලද පර්යේ­ෂණ වාර්තා­වක් ඉදි­රි­පත් කරනු ලැබූ බවත් මෙහිදී ප්‍රකා­ශ­යට පත් කරන ලද කරුණු අනුව පැය 16ක් නිරා­හා­රව සිටීමේ ක්‍රම­වේ­දය අනු­ග­ම­නය කරන සියලු දෙනා හෘද රෝග­ව­ලට ගොදු­රු­වීමේ වැඩි ඉඩක් තිබෙන බව අනා­ව­ර­ණය වී තිබෙන බවත් සුබ­සිංහ මහතා කීය. පරී­ක්ෂ­ණ­යට විවිධ ජන­ව­ර්ග­ව­ලට අයත් අවු­රුදු 20ට වැඩි පුද්ග­ල­යන් 20000ක පිරි­සක් යොදා ගනි­මින් 2003 සිට 2018 දක්වා ඔවුන් නිරී­ක්ෂ­ණ­යට ලක් කර තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

හෘද රෝග ඇති පුද්ග­ල­යන් දින­කට පැය 16 සිට 14 දක්වා කාල­යක් ආහාර වර්ජි­තව සිටින්නේ නම් හෘද රෝග­ය­කින් හෝ මොළ­යට රුධිර සැප­යීම අව­හි­ර­වී­මෙන් මර­ණ­යට පත්වීමේ අව­දා­නම 66% දක්වා ඉහළ යන බවත් මේ පර්යේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී තිබෙන බවත් මේ අයු­රින් ආහාර වර්ජ­නය කිරීම මඟින් කිසිදු රෝග­ය­කින් මිය යෑමේ හැකි­යාව අඩු කරන්නේ නැති බවත් ඒ මහතා කීය.

පැය 16ක කාල­යක් තුළ විටින් විට ආහාර ගන්නේ නම් පිළිකා රෝගීන් මිය­යාමේ අව­දා­නම අඩු­වන බව ද මේ පරී­ක්ෂ­ණයේ දී අනා­ව­ර­ණය වී තිබෙන බවත් සුබ­සිංහ මහතා පැව­සීය. බොහෝ වේලා­වක් මේ අයු­රින් නිරා­හා­රව සිටීම මඟින් සිරුර ඇතු­ළත පරි­වෘ­තී­යීය ආත­ති­යක් (Metabolic stress) ඇති­වන බවත් එහිදී රුධි­රයේ ඉන්සි­යු­ලින් ප්‍රමා­ණය අඩු­වන අතර කෝටි­සෝල් හෝමෝ­නය වැඩි­වන බවත් පරී­ක්ෂ­ණය මගින් හෙළි­කර ඇතැයි නීති වෛද්‍ය නිල­ධා­රි­ව­රයා ප්‍රකාශ කළේය.

අදාළ පරී­ක්ෂ­ණයේ සාරාං­ශය හැර විස්ත­රා­ත්මක තොර­තුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නැති බවත් එය පිළි­ගැ­නී­මට ප්‍රසිද්ධ කර විද්‍යා­ත්මක සඟ­රා­වල පළ කළ යුතුව ඇති බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *