ඉතිහාසයේ පළමුවරට සිදු කළ කුලියාපිටිය රෝහලේ කොඳු ඇට පෙළේ සැත්කම සාර්ථක වෙයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කුලියාපිටිය ශික්‍ෂණ රෝහල විසින් සුෂුම්නාව ආශ්‍රිත කොඳු ඇට පෙළේ සැත්කමක් සාර්ථකව සිදු කර ඇත. මෙම ශල්‍යකර්මය ඊයේ (25 වැනිදා) සිදුකරන ලද්දේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි විසිනි.

මෙම සැත්කම කොළඹ, මහනුවර වැනි ජාතික රෝහල්වල පවා සිදු කර නොමැති දුර්ලභ ශල්‍යකර්මයක් ලෙස වාර්තා වේ. සාමාන්‍යයෙන් කොඳු ඇට පෙළ පුරා විශාල කැපුමක් සිදු කරන මෙම සැත්කම, එන්ඩොස්කොපි ක්‍රමවේදය (කැමරාවක් යොදා නිරීක්‍ෂණය කරමින්) භාවිත කර සිදු කර ඇත.

මෙම නව ක්‍රමය නිසා රෝගියාට සම්පූර්ණ නිර්වින්දනයක් අවශ්‍ය නොවන අතර, අදාළ ප්‍රදේශය පමණක් හිරිවැට්ටවීම ප්‍රමාණවත් වේ. එසේම, මෙමගින් රෝගියාට ඉක්මනින් සුවය ලැබිය හැකි අතර, සැත්කමින් පසු දිනම පාහේ තනිවම ඇවිද යාමට හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙය, තුවාලය සුව වීමට මාසයක් පමණ ගතවන සාම්ප්‍රදායික ක්‍රමයට වඩා බෙහෙවින් වෙනස් වේ. දියවැඩියා සහ හෘද රෝග වැනි වෙනත් රෝග ඇති අයට ද මෙම ක්‍රමය යටතේ සැත්කම් කිරීම ආරක්ෂිත බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම ක්‍රමය මුලින්ම පොළොන්නරුව රෝහලේදී ආරම්භ කළ බවත්, එහිදී සිදු කළ සැත්කම් බොහෝමයක් සාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. කුලියාපිටිය රෝහලට සති දෙකකට පෙර වැඩ භාරගත් ඔහු, ඊයේ දිනයේ ද එම ක්‍රමවේදය යටතේ සැත්කම් දෙකක් සාර්ථකව සිදු කළ බව ප්‍රකාශ කළේය.

සැත්කමට ලක් වූ 20 හැවිරිදි දැරියකගේ දෙමාපියන් පැවසුවේ, මාතර සිට පැමිණ, වෛද්‍යවරයා සොයා ගත් බවත්, සැත්කම ඉතා සාර්ථකව අවසන් වූ බවත්ය. ඔවුන් කියා සිටියේ, කොඳු ඇට පෙළ ආශ්‍රිත ගැටලු ඇති ඕනෑම අයකුට බියකින් තොරව කුලියාපිටිය රෝහලට පැමිණිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *