රාත්‍රියේදී කොත්තුවක් ආහාරයට ගෙන නිදා ගැනීමෙන් පසු අලුයම් කාලයේ අවදි නොවූ කාන්තාවක රෝහල්ගත කර ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ බෝම්බුවල ලියනගේ තිළිණි මදුෂිකා නමැති 33 හැවිරිදි තිදරු මවකි. ඇය හොරණ, වල්පිට, පින්නකොළහේන පදිංචිව සිටි තැනැත්තියකි.
වසර තුනක පමණ කාලයක සිට ඇගේ ශරීරය මහත්වෙමින් තිබී ඇති අතර දියවැඩියාව හා අධි රුධිර පීඩන තත්ත්වය ද ඇයට වැළඳී තිබූ බව අනාවරණය වී ඇත.
අධික ලෙස ආහාර ගෙන නිතරම නිදා ගන්නා ඇයට නිදාගන්නා විට ඔක්සිජන් සපයන යන්ත්‍රයක් භාවිතා කරන ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී තිබිණි.
පසුගිය 14 වැනිදා රාත්‍රී 08.00ට පමණ ඇය සැමියා සමග එළියට ගොස් කොත්තුවක් ආහාරයට ගෙන නිවසට පැමිණ සුපුරුදු පරිදි ඔක්සිජන් සපයන යන්ත්‍රය භාවිත කර නිදාගෙන තිබේ. නමුත්, මද වෙලාවකට පසු එය ගලවා ඉවත් කර හුස්ම ගැනීමට අපහසු ආකාරයකින් දඟලමින් ඇය නිදාගත් බව අනාවරණය වී ඇත.
පසුදින අලුයම 04.00 පමණ සැමියා අවදිවූ පසු සුපුරුදු පරිදි ඇය අවදි නොවීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙනවිත් තිබේ.
හොරණ මූලික රෝහලේදී මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය සිදුකර ඇත. එහිදි අධික ස්ථූලභාවය හේතුවෙන් පෙණහළුවල ක්‍රියාකාරීත්වය අවහිර වීමෙන් ඔක්සිජන් අඩුවී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මෙම මරණය සිදුවී ඇති බව හොරණ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු සුමේධ ගුණවර්ධන විසින් නිගමනය කර තිබේ.