පොලිසියට අලුතින් ගත් අයගෙන් 20%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව හෙළි වෙයි

පොලිසියට අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් 20%ක පමණ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ චෝදනා මත මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයිද ඔහු කීවේය.
පේරාදෙණිය, හන්දෙස්ස, මාම්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මත්ද්‍රව්‍යවලට යොමු වූවන්ට ප්‍රතිකාර ලබාදීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යම පළාතේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදී ඇමතිවරයා මේ බව පැවසුවේය.

එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මෙසේද ප්‍රකාශ කළේය.

“බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන්ගෙන් 72%ක් ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරැදිවලට අත්අඩංගුවට පත් වූවන්, බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන නොවී අපරාධකරුවන් බිහි කරන මධ්‍යස්ථාන බවට පත්වෙමින් තිබෙන ස්වභාවයක් දකින්න ලැඛෙනවා. මේ සම්බන්ධව අධිකරණ ඇමතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් නතර කරන්න එතුමා කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍යවලට ඇබී බැහි වුවන් භික්ෂු සංස්ථාව තුළත් සිටිනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අවුරුදු 14-15 වයසේ පාසල් දරුවෝ ඉන්නවා. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරත් මේවා භාවිත කරන පිරිස් බහුලව ඉන්නා බවට තොරතුරු අපට ලැබී තිබෙනවා. පද්ධතියක් ලෙස ගත් විට මේ පරිහානිය සමස්ත සමාජය පුරා ව්‍යාප්තවෙලා. තවත් දින 10-12ක් ඇතුළත මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ආගමික නායකයන්, අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පොලිසිය, ජනමාධ්‍ය ආයතන, පළාත් පාලන ආයතන ආදී සියල්ල එකතු කරගත් වැඩ පිළිවෙළක් තමයි අපි ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබෙන්නේ. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මේක ක්‍රියාත්මක කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *