විජේරාම නිල නිවස රුපියල් කෝටි 51 ක් පමණ වියදම් කර අලුත්වැඩියා කළ ද, එය දැන් රජයට අයිති වී ඇති බවත්, එම මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘ගෙදර අරන් ගියේ’ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඒ අනුව, අදාළ 2021 කාල සීමාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පඩි නැගීමේ අපහසුතාවක් තිබුණු බවත්, එක් කෝටි හතලිස් තුන් ලක්ෂයක් වියදම් කර ඔහුගේ විජේරාම නිල නිවසට විදුලි පඩිපෙළක් (escalator) සවි කිරීමට කටයුතු කර ඇත්තේ ඒ හේතුවෙන් බවයි දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එවකට අගමැතිවරයා ලෙස සිටියදී, අරලියගහ මන්දිරය ද නිල නිවස ලෙස තිබුණත්, රටේ තිබුණු ආරවුල්කාරී තත්ත්වයත් සමඟ ලැබුණු ආරක්ෂක උපදෙස් මත, විජේරාම නිල නිවස අලුත්වැඩියා කළේ දැයි තමන් නොදන්නා බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.