ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් ආයතන එකම මිලක් යටතේ දේශීය අල, ලොකු ලූනු සහ රතු ලූනු මිලදී ගැනීමට එකඟතාවකට පැමිණි බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව අද (02) සිට අල, ලොකු ලූනු සහ රතු ලූනු වගා කරන ප්‍රදේශවලින් එම ආයතන දේශීය අල කිලෝවක් රුපියල් 210ටත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 130ටත්, රතු ලූනු කිලෝවක් රුපියල් 225ටත් මිලදී ගනු ලබන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
එලෙස මිලදී ගන්නා දේශීය අල කිලෝවක් රුපියල් 250ටත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ටත්, රතු ලූනු කිලෝවක් රුපියල් 295ටත් ලංකා සතොස වෙළෙඳසල් තුළින් පාරිභෝගික ජනතාවට ලබාගත හැකිය.
දේශීය අල මිලදී ගැනීම කැප්පෙටිපොළ, නුවරඑළිය, බෝගහකුඹුර ලංකා සතොස ආයතනවලදීත්, බණ්ඩාරවෙල, නුවරඑළිය, බොරලන්ද කාගිල්ස් ආයතනවලදීත්, කැප්පෙටිපොළ, නුවරඑළිය කීල්ස් ආයතනවලදිත් සිදු කෙරෙයි. ලොකු ලූනු මිලදී ගැනීම දඹුල්ල, තඹුත්තේගම ලංකා සතොස ආයතනවලදීත්, සීගිරිය, තඹුත්තේගම කාගිල්ස් ආයතනවලදීත්, දඹුල්ල, තඹුත්තේගම කීල්ස් ආයතනවලදීත් සිදු කෙරෙයි.
රතු ලූනු මිලදී ගැනීම ලංකා සතොස ආයතනයේ යාපනය ආර්ථික මධ්‍යස්ථානයේදීත්, නොරොච්චෝල, අලවෙඩ්ඩි කාගිල්ස් ආයතනවලදීත්, යාපනය, පුත්තලම කීල්ස් ආයතනවලදීත් සිදු කිරීමට නියමිතය.
එක් ගොවි මහත්මයෙක් සඳහා අල, ලොකු ලූනු හා රතු ලූනු උපරිම කිලෝග්‍රෑම් 2000ක ප්‍රමාණයක් මෙම ස්ථානවලට සැපයීමේ හැකියාව ඇත.