ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2025 වසරේ ජනවාරි මස 01 වන දින සිට සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ මෙරට ආයෝජන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳ නවතම නිල තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය වෙත නිකුත් කර තිබේ.
විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒම ඇ.ඩො.මිලියන 787 දක්වා
2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා ලැබී ඇති සමස්ත සෘජු විදේශ ආයෝජන (FDI Inflow) ගලා ඒමේ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 787.0 ක් ලෙස සටහන් වේ.
මෙම ආයෝජන ප්‍රමාණයෙන්, 2025 වසර තුළ ගිවිසුම් ගත කළ නවතම ආයෝජන වලින් ලැබී ඇති ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 121.8 කි.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති වලින් ලැබී ඇති දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 665.2 ක් වේ.
මෙම සමස්ත FDI ප්‍රමාණයට විදේශ කොටස් ආයෝජන, ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම්, ආයෝජනය කිරීම සඳහා ලබාගත් ආයතනික ණය ගැනීම් සහ වාණිජ විදේශ ණය ඇතුළත් වේ.
අනුමත ව්‍යාපෘති 104 ක්, මුළු වටිනාකම ඇ.ඩො.මිලියන 1,121 ඉක්මවයි
2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් මුළු ව්‍යාපෘති 104 ක් අනුමත කර ඇත.
එම ව්‍යාපෘති සංඛ්‍යාවට නව ව්‍යාපෘති 55 ක් සහ තවදුරටත් පුළුල් කරන ලද ව්‍යාපෘති 49 ක් ඇතුළත් වේ.
අනුමත කරන ලද මෙම ව්‍යාපෘතිවල සමස්ත ඇස්තමේන්තුගත මුළු ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,121.94 කි.
මෙම මුළු ආයෝජනයෙන්, ඇස්තමේන්තුගත විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 603.28 ක් වන අතර, ඇස්තමේන්තුගත දේශීය ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 518.68 ක් වේ.
නව ව්‍යාපෘති 55 හි ඇස්තමේන්තුගත මුළු ආයෝජනය ඇ.ඩො.මිලියන 692.18 ක් ද , පුළුල් කරන ලද ව්‍යාපෘති 49 හි ඇස්තමේන්තුගත මුළු ආයෝජනය ඇ.ඩො.මිලියන 429.76 ක් ද වේ.
කෙසේ වෙතත්, මුළු ඇස්තමේන්තුගත ආයෝජනය ඇ.ඩො.මිලියන 128.72 ක් වන ආයෝජන 6ක අනුමැතීන් මේ වන විට ඉවත් කරගෙන ඇත.
ආයෝජන ක්ෂේත්‍ර සහ මූලාශ්‍ර රටවල්
අනුමත කරන ලද ව්‍යාපෘතිවල ප්‍රධාන ක්ෂේත්‍රයන් අතර ඇඟළුම් සහ රෙදිපිළි (නව 8, පුළුල් 12) , දුරකථන සහ සන්නිවේදන ජාල (පුළුල් 11) , ත්‍රයිලෝක විජය පත්‍ර ආශ්‍රිත නිශ්පාදන (නව 7) , දේපල සංවර්ධන (නව 6, පුළුල් 3) සහ ආහාර නිෂ්පාදන (සැකසීම) (නව 5, පුළුල් 2) කැපී පෙනේ.
2025 වසරේ අනුමත කර ඇති නව ව්‍යාපෘති සඳහා ආයෝජන ලැබී ඇති ප්‍රධාන රටවල් වන්නේ සිංගපූරුව (5), ඉන්දියාව (4), සහ චීනය (3) යි. ඊට අමතරව, ඇමරිකා එක්සත් ජනපදය (2), එක්සත් රාජධානිය (2), නෙදර්ලන්තය (1), දකුණු කොරියාව (1), ඉරානය (1), හොංකොං (1), ස්පාඤ්ඤය (1), බහරේනය (1), ඔස්ට්‍රේලියාව (1) සහ එක්සත් එමීර් රාජ්‍යය (1) යන රටවල් වලින් ද නව ව්‍යාපෘති ලැබී ඇත.
රැකියා 20,000 ක් සහ ඇ.ඩො.මිලියන 5,604 ක අපනයන ආදායම
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ අනුමත කළ නව සහ තවදුරටත් පුළුල් කරන ලද ව්‍යාපෘති වලින් 20,000 ක් පමණ රැකියා අවස්ථා බිහිවේයැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති වාණිජ මෙහෙයුම් ආරම්භ කළ පසු මෙම රැකියා ස්ථාපිත වනු ඇත.
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් වලින්, 2025 ජනවාරි සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 5,604 ක අපනයනයන් සිදු කර ඇත.
මෙම අපනයනවලින් 95.9% ක් (ඇ.ඩො.මිලියන 5,370) කාර්මික අපනයන වේ. කාර්මික අපනයනවල ප්‍රමුඛ වන්නේ ඇඟළුම් (ඇ.ඩො.මිලියන 3,394) , රබර් ආශ්‍රිත නිශ්පාදන (ඇ.ඩො.මිලියන 590) සහ යන්ත්‍රෝපකරණ (ඇ.ඩො.මිලියන 266) යි.
4% ක් (ඇ.ඩො.මිලියන 225) කෘෂිකාර්මික අපනයන වන අතර , මෙහිදී අගය එකතු කරන ලද තේ (ඇ.ඩො.මිලියන 75) සහ අගය එකතු කරන ලද පොල් ආශ්‍රිත නිශ්පාදන (ඇ.ඩො.මිලියන 58) ප්‍රධාන වේ.
සමස්ත අපනයනවලින් 0.1% ක් (ඇ.ඩො.මිලියන 6.8) ඛනිජ ආශ්‍රිත අපනයන වේ.
(අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන), රේණුකා එම් වීරකෝන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කරන ලද පරිදි).