ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදාගෙන සංවර්ධනය කරා රැගෙන යෑම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා උපායමාර්ගික වැඩපිළිවෙළක් රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හය වැනි වාරිකය ලබාදීමට පෙර පැවැත්වෙන පස් වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය ඉතා අගය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති ඉලක්ක ද අභිබවා යෑමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්කරගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම්, දේශීය හා විදේශීය ආයෝජකයන් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බව ද අවධාරණය කළේය.
බිඳවැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අගය කළ අතර ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.