අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තාවකාලිකව නිලධාරීන් පත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබේ.
මෙම කොමිසමට නිත්‍ය කාර්යමණ්ඩලයක් පත්කරගන්නා තෙක් රාජ්‍ය සේවයේ, පොලිස් සේවයේ, විගණන සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ මෙන්ම රාජ්‍ය සංස්ථාවල සේවයේ නියුතු නිලධාරීන් තාවකාලික පදනමින් බඳවා ගැනීමට නියමිත ය.
අල්ලස් කොමිසමේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට දූෂණ විරෝධී පනතේ 26(4), 26(5), 26(6), 26(8) හා 26(9) වගන්තිවල විධිවිධාන පරිදි මෙම පත්කිරීම් සිදුවන බව රජය කියයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉහළ ස්වාධීනත්වයක් ලබාදී තිබෙන බවත් එකී කොමිෂන් සභාවට අනන්‍ය වූ කාර්යමණ්ඩලයක් පත්කර ගැනීමට අවශ්‍ය විධිවිධාන එම පනතේ අන්තර්ගතව තිබෙන බවත් රජය පවසයි.
රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ, විගණන සේවයේ හා රාජ්‍ය සංස්ථාවල නිලධාරීන් හෝ සේවා නියුක්තිකයන් තාවකාලික පදනම මත අල්ලස් කොමිසමට බඳවා ගැනීමට දූෂණ විරෝධී පනතේ විධිවිධාන ඇතුළත්ව තිබෙන බව ද රජය කියයි.