2025 අයවැය මගින් වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සඳහා 2026 අයවැය මගින් ප්රතිලාභ සලසන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය චන්දන අබේරත්න පැවැසීය.
සෑම වසරකම ඔක්තෝබර් 08 වැනිදාට යෙදෙන ‘ජාතික විශ්‍රාමික දිනය’ වෙනුවෙන් පැවැති සැමරුම් වැඩසටහන මෙවර කැලණිය වෙදමුල්ල නිවාඩු නිකේතනයේදී ඊයේ (08 වැනිදා) පැවැත්විණි.
ලක්ෂ හතකට අධික විශ්‍රාමික ප්‍රජාවට බලපාන ගැටලු රාශියක් පවතින බව දන්නා බවත් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය අපේක්ෂා කරන බවත් කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් විශ්‍රාමික සංවිධාන සමග නිරන්තර සාකච්ඡා පවත්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති රුවන් සෙනරත් මෙහිදී සඳහන් කළේ වසර 76ක් රෝගාතුරව සිටි ‘ලක් මාතාව නමැති රෝගියා’ මරණාසන්න වූ පසුව ජාතික ජන බලවේගයට භාර වූ බවයි. වර්තමාන රජය දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගියා වසරක කාලයක් ගෙවී යන මේ මොහොත වන විට සාමාන්‍ය වාට්ටුවකට ගෙන ඒමට වර්තමාන රජය සමත්ව ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
ඔහු තවදුරටත් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ නිවැරැදි දිශාවට රට මෙහෙයවමින් වත්මන් රජයේ වැඩපිළිවෙළ අවබෝධ කරගෙන සිදුවෙමින් පවතින වංචා දූෂණ නැවැත්වීම සහ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම වැනි පරිවර්තනයන්ට අනුගත වන ලෙසයි. රජය මේ වන විට පාතාලය හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ජාතික විශ්‍රාමික දින සැමරුම සඳහා දේශීය හා බටහිර වෛද්‍ය කඳවුරු, සෞඛ්‍ය දේශන, රසවින්දන වැඩසටහන් ඇතුළු අංග රැසක් ඇතුළත්ව තිබිණි.