රාජ්‍ය ආයතන 60%කට වඩා දූෂිත බවත්, එයින් මෙරට සිටින්නේ කොතරම් අවංක පිරිසක් දැයි සිතා ගත හැකි බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී නැඟෙනහිර ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ සහභාගිත්වයෙන් පැවති ‘දූෂණ විරෝධී නීතිය සහ සුපිළිපන් බව’ පිළිබඳ ජාතික වැඩසටහනේ නැඟෙනහිර පළාතේ පළමු දින වැඩසටහන පෙරේදා (08) ආරම්භ කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ඔබට හමුවෙලා තියෙනවා ද දූෂණයට සහ අල්ලසට කැමති මිනිස්සු. මට නම් එහෙම කවුරුවත් හමු වෙලා නෑ. ඔක්කොම ඉන්නේ දූෂණ විරෝධී අය. එහෙම නම් කවුද මේවා කරන්නේ. අපේ රටේ ඉන්න අය දූෂණ විරෝධී නම් වෙන කොහෙන් හරි රටකින් ඇවිල්ලද මේවා කරන්නේ. මෙරට රාජ්‍ය ආයතන ගත්තොත් මගේ තක්සේරුවේ හැටියට 60%කට වඩා දූෂිතයි. ඒකට හේතුව මෙරට මිනිස්සු කරන්නේ බොරුව නිසයි. ඇත්තටම තමන් කොච්චර අවංක ද කියන එකෙන් තමයි පටන් ගන්නේ. තමන් කරන්නේ මොනව ද කියලා හිතලා බැලුවොත් රට හදන්න පුළුවන්.”
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ තනූජා බාලසූරිය, නැඟෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නාමල් තලංගම මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
නැඟෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) කාර්යාලය, පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය එක්ව මේ වැඩමුළුව සංවිධාන කර තිබිණි.