ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකථන සංවාදයක් සිදු වී නොමැති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය පවසන්නේ, මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිදු විටෙක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා විසින් නියෝගයක් ලබාදී නොමැති බවයි.
එසේම, ඉහත සිදුවීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධව පොලිස් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවද එම නිවේදනයේ දැක්වෙයි.
පොලිස් මූලස්ථානය මගින් නිකුත් කළ නිවේදනය පහතින් වෙයි.
—
2025.10.10 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් යම් සිදුවිමක් මුල්කරගෙන පරුෂ වචනයෙන් බැන වදිමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියට අදාල වීඩියෝ දර්ශන නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ප්‍රකාශ සටහන් කර මෙම සිදුවීම සම්බන්ධව තවදුරටත් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයට එම අවස්ථාවේ ඔහු විසින් ” ප්‍රියන්ත මගේ ජුනියර් බැජ් එකේ…” ” ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී …..” ”ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න….” යනුවෙන් එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත. එමඟින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගතවෙමින් පවතී. නමුත් මෙම සිදුවීමට අදාලව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකථන සංවාදයක් සිදු වී නොමැත.
මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිදු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත. නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විටත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
එයට හේතුව වූයේ මෙම සිදුවීමත් සමඟ ගල්කිස්ස අධිකරණ භූමියේ යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් අධිකරණයේ කටයුතුවලටද බාධා සිදු වී ඇත. එමෙන්ම මෙම සිදුවීම පාදක කරගෙන අධිකරණයේ කටයුතුවල නිරත නීතිඥවරුන්ගේ ද යම් විරෝධයක් පවත්වා ඇත. එම අවස්ථාවේ දී ගල්කිස්ස ගරු මහේස්ත්රාත්තුමා විසින් මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරියා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හට නියෝග කර තිබීම හේතුවෙනි.
ඉහත සිදුවීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධව පොලිස් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ද වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.