දරුවන්ට අඩු මිලට පාසල් අභ්‍යාස පොත් ලබාදීම සඳහා වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත පාසල් අභ්‍යාස පොත් ඉදිරි මාස තුන ඇතුළත වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක මහතා පැවසීය.
ගතවූ වසර තුළ රාජ්‍ය ව්‍යාපාර ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, වෙෙළඳපළේ දැන් තිබෙන අභ්‍යාස පොතට සමාන ආකාරයට පිට කවරයට අලංකාර ඡායාරූප යොදාගනිමින් කඩදාසියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් පාසල් අභ්‍යාස පොත් වෙෙළඳපළට නිකුත් කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය,
“අකුරු හැඩට ලියමු“ තේමාව යටතේ ප්‍රතිචක්‍රීකරණ කරන ලද කඩදාසි යොදාගනිමින් පරිසර හිතකාමී ක්‍රියාවලියක් යටතේ මෙම කඩදාසි නිෂ්පාදනය කෙරෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව ඉවත දමන කඩදාසි නැවත භාවිත කිරීම සිදු කෙරෙනවා. දැන් වෙෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට අපේ දිළිඳු දරුවන්ට මේ පොත්පත් ලබාදීම අපේ අපේක්ෂාවයි.
ජාතික කඩදාසී සමාගමේ නිෂ්පාදන ආරම්භ කළේ 1956 වසරේ. 1960/ 75 කාලය අපේ කර්මාන්තවලට හොඳ සමෘද්ධිමත් කාලයක් උදා වුණා. ඒ කාලේ සේවකයන් 3000ක් පමණ වාලච්චේන කඩදාසි කම්හලේ සේවය කළා. 2014 වසරේ මෙම කර්මාන්තශාලාව වසා දැමුණා. 2016දී ස්වේච්ඡා වන්දි ක්‍රමයක් යටතේ වාලච්චේන සහ ඇඹිලිපිටිය සියලු සේවකයෝ ඉවත් කරනු ලැබුවා.
2020දී මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර තිබුණා. නමුත් පසුව අභාවයට යන තත්ත්වයක් ඇති වූ වාලච්චේන කඩදාසි කම්හල නව රජය පත් වූවට පසුව අලුත් පාලක මණ්ඩලයක් යටතේ 2025 නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කළා. මෙම කර්මාන්තශාලාව අද වෙනකොට පැය 24 පුරාම ක්‍රියාත්මක වන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා.
ජනවාරි මාසේ නිෂ්පාදන පටන් අරගෙන අප්‍රේල්, මැයි වෙනකොට සේවක පඩි නඩි ගෙවලා, විදුලි බිල් ගෙවලා, අමුද්‍රව්‍ය ගාස්තු ගෙවලා, සියලු වියදම් සපුරා ගැනීමට හැකි තත්ත්වයට ගෙනාවා. ජූලි මාසයේ සිට අපි ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් ලාභයක් සහිතව.
2020 නැවත ආරම්භ කළේ භාණ්ඩාගාර ඇපයක් සහිතව රුපියල් මිලියන 140ක ණය මුදලක් අරගෙනයි. මෙම ණය මුදල ගෙවීම හිඟ තිබුණා. අපි ඒ හිඟ මුදල ගෙවීමට අදාළ කටයුතු සිදු කරගෙන යනවා.
2023 වසරේ ඇඹිලිපිටිය කර්මාන්තශාලාව පෞද්ගලික අංශයට අවුරුදු 30කට බදු දීලා තියෙනවා. එම පෞද්ගලික ආයතනය විසින් කර්මාන්තශාලාව සාර්ථකව පවත්වාගෙන යනවා.
පැරණි කඩදාසි නගරය නව මුහුණුවරකින් නැවත ඇති කිරීමයි අපේ ඉදිරි සැලසුම. ඒ යටතේ වාලච්චේන කඩදාසි නගරය, දුම්රිය ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. අමුද්‍රව්‍ය ගෙන යෑම සහ කර්මාන්තශාලාවේ නිෂ්පාදන නැවත කොළඹට ගෙන ඒම සඳහා මෙම දුම්රිය ස්ථානය සකස් කර තිබුණා. වාලච්චේන කඩදාසි නගරය නව මුහුණුවරකින් ඇති කිරීම වත්මන් රජයේ මූලික අරමුණක්.
කර්මාන්තශාලාවේ තිබූ පැරණි තාක්ෂණය නැවත වැඩිදියුණු කිරීමත් සිදු කරගෙන යනවා. එය දරුවන්ට දැක ගැනීම සඳහා කෞතුකාගාරයක් බවට පත්කිරීමට අපේක්ෂා කරනවා. පාසිකුඩා වෙරළ පදනම් කරගෙන සංචාරක කලාපයක් ඇති කිරීමටත් අපේක්ෂා කරනවා.“
මෙහිදී අදහස් දැක් වූ බී.සී.සී. ලංකා සමාගමේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් මහතා,
“ ආයතනයේ විශාල අඩුපාඩු ප්‍රමාණයක් තිබුණා. නිෂ්පාදන හරියාකාරව කරගන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. යන්ත්‍ර සූත්‍ර පවා වසර සීයකට වඩා පරණයි. අද වෙනකොට බී.සී.සී. ආයතනයේ ලාභයෙන් කෝටි පහක් භාණ්ඩාගාරයට අපි ලබාදීලා තියෙනවා. මිලියන 197ක ස්ථිර තැන්පතු තියෙනවා. පාරිභෝගිකයාගේ ඉල්ලීම තරමට නිෂ්පාදන කටයුතු කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ආයතනය කිසිම හේතුවකට ඉදිරියේදී වැටෙන්නෙ නැති වෙන්න ස්ථාවර කරලා තියෙනවා. අද වෙනකොට හැම සුපර් මාකට් එකකම අපේ නිෂ්පාදන අලෙවි කරනවා. දෙසැම්බර් වෙනකොට ආපණශාලා සංකීර්ණයකුත් ආරම්භ කරනවා.