මෑතකදී රජය විසින් ක්‍රියාත්මක කරන ලද දුරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් පාඩු ලබමින් තිබූ රාජ්‍ය ආයතන (SOE) තුනක් මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත් වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී, ජාතික ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී එම්. ජේ. ටී. මන්සිල් ප්‍රකාශ කළේ, එම සමාගම යටතේ ඇති මන්නාරම ලුණු ලේවාය සහ අලිමංකඩ ලුණු ලේවාය යන ආයතන දෙකම මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවයි.
අනාගත අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග තබා ගනිමින්, ලුණු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව ඔහු සඳහන් කර ඇත්තේ.
මන්නාරම ලුණු ලේවාය වසරකට මෙට්‍රික් ටොන් 5,500ක් පමණ නිෂ්පාදනය කරන බවත්, අලිමංකඩ ලුණු ලේවායට වසරකට මෙට්‍රික් ටොන් 22,000ක වාර්ෂික නිෂ්පාදන ධාරිතාවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.
ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක ද සිය සමාගමේ ප්‍රකෘතිමත් වීම පිළිබඳ වාර්තා කර තිබෙනවා.
මෙම වසර මුලදී සමාගම නැවත නිෂ්පාදනය ආරම්භ කළ බවත්, එමගින් නිමැවුම දෙගුණයක් වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.
එම සමාගම යටතේ පවතින වාලච්චේන කඩදාසි කම්හල 2025 ජූලි මාසයේ සිට මෙහෙයුම් ලාභයක් උපයමින් සිටින බවත්, ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) සහ බැංකුවලට ගෙවීමට ඇති සිටින හිඟ මුදල් ක්‍රමානුකූලව පියවමින් සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් (BCC) ලිමිටඩ් ආයතනයේ නිලධාරීන් ද ඔවුන්ගේ මෙහෙයුම් ලාභදායිත්වයට නැවත පැමිණ ඇති බව තහවුරු කර තිබෙනවා. මෙම වෙනස කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සහ නව නිෂ්පාදන හඳුන්වාදීම හේතුවෙන් සිදු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.