රටම එකට’ මත්ද්‍රව්‍ය තුරන් කරන ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පවත්වයි

වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ‘රටම එකට ‘ ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස් විය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් පසුගිය 13 වන දින රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත වී තිබූ අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් සභාවක් පිහිටු වීමට යෝජනා කර තිබිණි.

ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ජාවට ලක් කර ඇත.

මෙම මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ මූලික පරමාර්ථය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද වන විට මත්ද්‍රව්‍ය උවදුර නිසා තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.

මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම සඳහා මහජනතාවගේ ද සහාය ලබා ගැනීමේ වැදගත්කමත්, රටම ඒකරාශි කර ගත් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමේ වැදගත්කමත් මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *