දූෂණ විරෝධී පනතට කඩිනම් සංශෝධනයක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දිසානායක ඉල්ලයි

දූෂණ විරෝධී පනතේ කඩිනමින් සිදු විය යුතු සංශෝධන කිහිපයක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක තීරණය කර තිබේ.

එම පනතේ ‘සිංහල හා ඉංග්‍රීසි’ භාෂා මාධ්‍ය අන්තර්ගතයන්හි වෙනස්කම් නිසා මතුව ඇති ප්‍රායෝගික දුෂ්කරතා ගැන මෙසේ අවධානය යොමු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දූෂණ විරෝධී පනතේ සිංහල හා ඉංග්‍රීසි පනත් අතර වෙනස්කම් ඇති නමුත් භාවිතයේදී බලාත්මක වන්නේ ‘සිංහල පනත’ යැයි ඔහු සඳහන් කළේ ය.

එසේ වුවද, මෙම ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන සිංහල – ඉංග්‍රීසි පනත් අතර ඇති දෝෂ නිවැරදි කිරීම සඳහා කඩිනම් සංශෝධනයක් කළ යුතු යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

වත්කම් – බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් වන නීතියේ ඇතැම් කරුණු අලළා සංශෝධනයක් සිදු විය යුතු බවට දැනටමත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ අනුව, සිංහල හා ඉංග්‍රීසි පනත සමග ඇති අනනුකූලතා නිවැරදි කරමින් මුළු පනත ම විශ්ලේෂණයට ලක් කළ යුතු යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ ය.

ඊට අදාළව කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කර වාර්තාවක් ලබාදී ඇතැයි ද එම වාර්තාව සමාලෝචනයක් සිදු කිරීමක් සිදු වන්නේ යැයි ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *