අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කර එම දේපළ රාජසන්තක කිරීම සඳහා විමර්ශන පැවැත්වීමට ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොලීසියේ අලුත්ම විමර්ශන අංශය වන ‘අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය’ (PCID) අද (20) කොළඹ කොටුවේ පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැඟිල්ලෙහි විවෘත කෙරෙනු ඇත.
මහජන ආරක්ෂණ හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් අද උදෑසන 10.00ට මේ, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සේවයේ නිරතව සිටි මෑතක් වනතුරු කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. ඩබ්ලිව්. වික්‍රමසේකර මහතාය.
පාර්ලිමේන්තුවේදී සම්මත වූ, 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතට අනුව මේ අලුත් පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක වේ.
මෙහිදී සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම විවිධ පුද්ගලයන් නීති විරෝධීව අපරාධවලින් උපයා ගත් දේ ආපසු ලබාගැනීමට විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම, තහනම් කරන ලද දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම ආදී බොහෝ වැඩ කොටසක් කිරීමට මේ කොට්ඨාසයට පැවරෙනු ඇත.
පනතේ විධිවිධාන අනුව අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරියක් ද පිහිටුවනු ඇති බව සඳහන්ය.
මේ පොලිස් කොට්ඨාසයට අදාළ පනතින් විශාල බලයක් ලැබෙන බවත්, අපරාධවලින් උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් පවතින නීතිවලින් කළ නොහැකි බොහෝ දේ මේ තුළින් සිදු කළ හැකි බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.