කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ (CCTB) නවීකරණ කටයුතු මේ වනවිට සිදු කෙරේ.
ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන මෙම බස් නැවතුම්පොළ නවීන ප්‍රමිතීන්ට අනුකූලව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මේ සඳහා රුපියල් මිලියන 425ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය රජයේ ජාතික සංවර්ධන න්‍යායපත්‍රයට අනුකූල වන අතර, පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ නාගරික ජීවන තත්ත්වය ඉහළ නැංවීමට එයින් අපේක්ෂා කෙරේ.
මෙම නවීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු මානව සම්පත් දායකත්වය ලැබෙන අතර, කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ද ඊට සහාය දක්වයි.
තවද, ජාතික ඉංජිනේරු ආයතනය (NIO Engineering) ඇතුළු සංවිධාන කිහිපයක් ස්වේච්ඡාවෙන් මෙම ව්‍යාපෘතියට එක්වී ඇති බවත්, ඔවුන් තාක්ෂණික විශේෂඥ දැනුම හා සැපයුම් සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සඳහන් කරයි.