මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. බන්ධනාගාර කොමසාරිස්වරයා ඒ බැව් කියා සිටියේ “නොයා යුතු තැන” දේශන මාලාවේ 435 වැනි වැඩසටහනට එක්වෙමිනි.

නාවලපිටිය, කොත්මලේ සිංහ සමාජය හා නාවලපිටිය පොලීසියේ සංවිධානයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාසල් 5ක සිසු දරු දැරියන් 500කට නාවලපිටිය නගරයේදී මේ වැඩසටහන පැවැත්විණි.
“ලංකාවේ බන්ධනාගාර 36යි. ඒ තුළ දැමිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ප්‍රමාණය 10500යි. නමුත් අද වනවිට මේ බන්ධනාගාර 36හිම 36000කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඉන් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාර ගත වූ අයයි. මත්ද්‍රව්‍ය ලබා ගන්නා අයගෙන් බහුතරයක් සිංහල බෞද්ධ ළමයි. ඒ නිසා මට වුවමනාවක් තිබුණා බන්ධනාගාරයෙන් එළියට ඇවිත් මහජනතාව මේ පිළිබඳව දැනුම්වත් කරන්න. පාසල් දරුවන් තමයි රටක අනාගතය. ඔබ හරියට හැදුණොත් රට හැදෙයි නැත්නම් රට විනාශ වෙයි. ඒ නිසයි නොයා යුතු තැන කියන සංකල්පය මත මේ දේශන මාලාව කරන්නේ”යැයි ආරාධිත දේශනය කළ බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ දිනවල යම් මත්ද්‍රව්‍යයක් පිළිබඳ රටේ බොහෝ කතාබහක් ඇති වී තිබෙනවා. නමුත් එය මත්ද්‍රව්‍යයක් නොවෙයි. රසායනික ද්‍රව්‍ය කිහිපයක එකතුවක්. මේවා භාවිත කළොත් අවුරුදු දෙකක් යන විට සම්පූර්ණයෙන්ම ශරීරය විනාශ වෙනවා. මේ මත්ද්‍රව්‍ය එතරම් විනාශකාරියි. මේ මත්ද්‍රව්‍ය, පරපුරක් විනාශ කරන නිසා මේ සභාවේ දේශපාලන අධිකාරිය රැඳී සිටින නිසාත් ඔබ ගිහින් අනුර කුමාර ජනාධිපතිට කියන්න මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුමයි කියා බන්ධනාගාර කොමසාරිස් කිව්වා කියලා. ඔවුන් විනාශ කරන්නේ ජාතියක්. ඔවුන් විනාශ කරන්නේ වැඩියෙන්ම සිංහල බෞද්ධ ජාතිය. ඒ නිසා මං හිතනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි කියලා.”
“එසේම පොලිස් දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අංශ මේ දිනවල කරන වැටලීම්වලදී වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය හමුවන්නේ දකුණු පළාතෙන්. මේ සිදු කරන වැටලීම්වල ප්‍රතිඵලයක්” බන්ධනාගාරගතවන පිරිස 36000 සිට 40000 දක්වා ඉහළ යා හැකි බවත්, එසේ වැඩිවීම බන්ධනාගාරවලට දරාගත නොහැකි වෙන හෙයින් සිරකරුවන් හා සැකකරුවන් රඳවා තැබීමේදී සිර කුටිවල ඔවුන්ට අඩුම තරමේ වාඩි වී සිටීමටවත් පහසුකම් සැපයීමට නොහැකි වන බවත්,ඒ නිසාවෙන් සිරකරුවකු හෝ සැකකරුවකු ලෙස කිසිම විටක නොයා යුතු තැනක් ලෙස බන්ධනාගාරය තම සිහියේ තබාගත යුතු බව;a වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙයට සමගාමීව මනෝ විද්‍යා උපදේශක මහාචාර්ය ප්‍රියංගනී රාජපක්ෂ මහත්මිය විසින් පාසල් ළමයින් යහපත් මානසික සංවර්ධනය පවත්වාගෙන යෑම පිළිබඳ දේශනයක් ද පැවැත්වීය.
ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, පසුබාගේ ප්‍රාදේශීය සභා සභාපති මංජුල මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ. සිංහ සමාජය වෙනුවෙන් කොත්මලේ සහ නාවලපිටිය සිංහ සමාජයේ නාමල් අමරසිංහ මහතා මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේය.