පවත්නා නීතිරීති හා රෙගුලාසිවලට පටහැනිව ඉකුත් වසර 20 කාලයේ දී (2005-2024) ජනාධිපති අරමුදල මගින් හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්රීවරුන් 56 දෙනකු වෙත රුපියල් දහතුන්කෝටි දහතුන්ලක්ෂ හැත්තෑඑක්දහස් එකසියදහයක (131,371,110) මුදලක් වෛද්යාධාර වශයෙන් ලබා දී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ජනාධිපති අරමුදල මගින් වෛද්ය ආධාර ලබාදීමේ දී මූල්යාධාර ලබා ගැනීමට අදාළව විධිමත් අයැදුම් පත්රයක්, ලබන මාසික ආදායම් සීමාව, ප්රාදේශීය ලේකම් වාර්තාව, මූල්ය වත්කම් සහ උපරිම වෛද්ය ආධාර මුදල් සීමාවන් ආදිය පිළිබඳව සලකා බලනු ලබයි. එහෙත් මේ පිළිබඳව සම්පූර්ණ වශයෙන් සලකා බැලීමකින් තොරව හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්රීවරුන්ට මෙම මුදල ලබා දී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
එමෙන්ම ජනාධිපතිවරයාගේ අරමුදල් පනත ප්රකාරව වෛද්ය ආධාර මුදල් ණය වශයෙන් ලබා දීමට ප්රතිපාදන සලසා නොතිබුණි. එහෙත් 2015 වර්ෂයේ දී පෙබරවාරි මස එවකට සිටි ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට අනුව නැවත ගෙවීමේ පදනම මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට රුපියල් එක්කෝටි නවලක්ෂ අටදහස් හත්සියඅනූඅටක (10,908,798) වෛද්ය ආධාර මුදලක් ලබා දී තිබුණි. එම මුදල් මෙම වර්ෂයේ ජුනි මාසය වන විටත් අය කර ගෙන නොතිබුණි. මේ අයුරින්ම හිටපු අගමැතිවරයකු වෙත වෛද්ය පහසුකම් ලබාගැනීම සඳහා 2012 හා 2014 යන වර්ෂවල දී ජනාධිපති අරමුදල මගින් රුපියල් දෙකෝටි අනූඅටලක්ෂ නවදහස් එකසිය හතලිස් තුනක මුදලක් (29,809,143) ලබා දී තිබුණි.
මින් රුපියල් එක්කෝටි තිස්හත්ලක්ෂ හතලිස්අටදහස් දෙසියදාහතක මුදලක් (13,748,217) නැවත අයකර ගැනීමේ පදනම මත ලබා දී තිබුණි. එහෙත් එම මුදල මෙම වර්ෂයේ ජුනි මාසය වන විටත් අයකර ගෙන නොතිබුණි.
මේ සිද්ධීන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකරන බවත් එහි ප්රතිඵල මත ඉදිරි කටයුතු සිදුකරන බවත් ජනාධිපති අරමුදල විසින් විගණනයට සඳහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ අරමුදල සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.