අල්ලස් ගෙන වැඩිම අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිළධාරීන් – අල්ලස් කොමිසමේ නවතම වාර්තාව හෙළි කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එහිදී පොලිස් නිලධාරීන් 20 දෙනකු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති බවත් මෙම වසරේ පළමු මාස 9දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 5776 ක් ලැබී තිබෙන බවත් එහි සඳහන් වේ.

මාස 9දී ලැබූ පැමිණිලි මත වැටලීම් 94 ක් සිදුකර තිබෙන බවත් ඒ යටතේ පුද්ගලයන් 63 ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

සිදුකළ වැටලීම් 94 න් වැටලීම් 51 ක් ඵලදායි වූ බවත් තවත් වැටලීම් 37 ක් ඵලදායී නොවූ බවත් එහි දැක්වේ. එසේම සිදුකළ විමර්ශන මත තවත් පුද්ගලයන් 32 ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම වසරේ පළමු මාස 9දී අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධව නඩු 71 ක් මහාධිකරණයේ ගොනු කර තිබෙන බවත් ඒ යටතේ චූදිතයන් 86 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බවත් අල්ලස් කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *