මහේස්ත්‍රාත් තනතුර සදහා සුදුසුකම් සංශෝධනය කිරීමට තීරණය කරයි

අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණීයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් මෙලෙස සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ තනතුර සඳහා සපුරාලිය යුතු සුදුසුකම් 4ක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

වසර 03කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3කට නොඅඩු සේවා කාලයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ සුදුසුකම් වේ.

ඊට අමතරව යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක වසර 3කට නොඅඩු කාලයක් නීති නිලධාරියෙකු ලෙස සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අදාළ සුදුසුකම්වලට අයත් වේ.

යම් සමාගමක හෝ බැංකුවක හෝ ආයතනයක නීති නිලධාරියෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු කාලයක් සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා සුදුසුකමක් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටී.

මීට පෙර අදාළ තනතුර සදහා නීතීඥවරයෙකු ලෙස වසර 4කට නොඅඩු කාලයක් සේවය කර තිබීම සුදුසුකමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර එය වසරකින් අඩුකිරිමට මෙහිදී පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *