මෙරට වෙසෙන මිලියන 1.6ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජාවගේ සුබසාධනය හා ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවර අය-වැයෙන් බිලියන ගණනක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
අාබාධ සහිත පුද්ගලයන් 140,000කට පමණ අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ රුපියල් 10,000 බැගින් වූ මාසික සහනාධාරයක් දීමට මේ වන විටත් රුපියල් මිලියන 19,000ක ප්‍රතිපාදන දැනටමත් රජය වෙන් කර ඇත. එමෙන්ම ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අඛණ්ඩව සිදු කිරීමට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වෙන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මිලියන 100ක් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මිලියන 447ක් මේ සඳහා වෙන් කර ඇති අතර අමතර ප්රතිපාදනයක් ලෙස තවත් රුපියල් මිලියන 500ක් 2026 අය-වැයෙන් වෙන් කර තිබේ. මීට අමතරව ඔවුන් වෙනුවෙන් ප්‍රවේශ්‍යතා රෙගුලාසි පිළිබඳ පවතින ගැසට් පත්‍රය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව වන පරිදි සංශෝධනය කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වසරේ අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසුවේය.
රජ්‍ය අංශයේ රැකියාවලින් සියයට 3ක් නිල වශයෙන් ආබාධ සහිත පුද්ගලයන්ට වෙන් කර ඇතත් එය මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අතර ඉදිරියේදී සියලු රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වලදී මේ සියයට 3 බඳවා ගැනීමට අය-වැය මඟින් යෝජනා කර ඇත.
ආබාධ සහිත පුද්ගලයන් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොදවා ගන්නේ නම් රුපියල් 15,000ක උපරිමයකට යටත්ව සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක වැටුප් සහනාධාරයක් අවුරුදු 2ක කාලයක් දක්වා ගෙවීමටද අය-වැයෙන් යෝජනා කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 500ක්ද වෙන් කර තිබේ.