අලුත් ව්‍යවසායකයන්ට ණය දෙන්න බිලියන 80ක මුදලක් වෙන් කරයි

අලුතෙන් කර්මාන්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින හැම දෙනාටම ණය පහසුකම් ලබාදීමට අයවැයෙන් රුපියල් බිලියන 80ක අරමුදලක් ඇති බවත්, මෙය ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (13 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (13 දා) රැස්විය. ප්‍රථමයෙන් වාර්තා, නිවේදන, ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු සැපයීය.

අනතුරුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2026 අයවැය යෝජනා පිළිබඳ විවාදය ආරම්භ විය. විවාදය ආරම්භ කරමින් කතා කළ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක –

මේ ආණ්ඩුවේ පළමු අයවැයේ කරුණු ගණනාවක්ම නොකෙරෙන ගණයට වැටෙන්නේ. එහි ප්‍රාග්ධන වියදම්වලින් සියයට 60කටත් වඩා වියදම් කරගන්න අපොහොසත් වෙලා තියෙනවා. යෝජනා 54ක් එහි තිබුණා. එයින් යෝජනා 16කම ප්‍රගතිය සියයට 25ට අඩුයි. එයින්ම පේනවා ආණ්ඩුවේ නොහැකියාවේ තරම. ගිය වසරේ අයවැය ප්‍රගතිය ගැන බැලුවහම පේනවා ආණ්ඩුව කතාව දෝලාවෙන් වුවත් ගමන පයින් කොර ගහ ගහ තමයි යන්නේ කියලා.

ගියවර ඉදිරිපත් කරපු සමහර යෝජනා මේ පාරත් අකුරක්වත් වෙනස් නොකර මෙවර අයවැයට දාලා. උදාහරණයක් ලෙස ආයෝජන සඳහා තනි කවුළුවක් විවෘත කරනවා කියලා 2025දීත් කිව්වා මෙවරත් තියෙනවා. පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්ව පනත ගේනවා කියලා ගිය පාරත් කිව්වා. මෙවරත් කිව්වා. ආයෝජන ආරක්ෂණ පනත, රේගු පනත, ඩිජිටල් ආරක්ෂණ අධිකාරි පනත ගැනත් අයවැය දෙකේම සඳහන් වෙනවා.

159ක ජනවරමක් හා ඔළුගෙඩි තියාගෙන මේ එකක්වත් කරගන්න බැරිවූ ආණ්ඩුවක්. 2026 වගේම මේවා ඊළඟ අයවැයටත් එකම යෝජනා යොදාවි කියා අපට විශ්වාසයක් තියෙනවා.

ඩිජිටල් කරණයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 16ක් වුණාට වාහන ගෙන්වන්න බිලියන 12.5ක් වෙන් කරලා. රජය බලයට ගේන්න වැඩ කරපු අංශ ගණනාවක් අයවැය සකස් කිරීමේදී අමතක කර දාලා. ඉතිහාසයේ කිසි දවසක නැති විදිහට ගුරුවරු දේශපාලනිකව සංවිධානය වුණා. ගුරු වැටුප් විෂමතා ඉවත් කරන බව එදා මේ ආණ්ඩුවේ අය කිව්වා. අපිට කවදාවත් ගුරුවරු දේශපාලන ආයුධයක් වුණේ නෑ. අපි දැනගෙන හිටියා ගුරුවරයා සටන් බිමට කැඳවීමෙන් හානියක් වෙන්නෙ දරුවන්ට බව. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරක්න අයවැයේ කතා කරලා නෑ. ගැහැණු අපි එක මිටට කියලයි එදා කිව්වේ. මේ ගැන අයවැයෙන් කතා කරයි කියල හිතුවත් අලි ගැන කතා කරපු ප්‍රමාණයටවත් කාන්තාවන් ගැන කතා කරන්න ජනාධිපතිට බැරිවුණා.

අලින්ගේ ප්‍රශ්නය බරපතළයි. ඒත් ඒ ගැන කියන තරමටවත් කාන්තාවන් ගැන කතා කළේ නෑ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති –

විපක්‍ෂයට මේ අයවැයේ දිශානතිය හෝ අරමුණු ගැන කතා නෑ. අයි.එම්.එෆ්. එකේ උවමනාවට අයවැය හදලා තියෙන්නෙ කියලා විරුද්ධ පක්‍ෂය කියනවා. හැම ආණ්ඩුවක්ම මූල්‍ය අරමුදල සමග වැඩ කරලා තියෙනවා. ඔවුන්ට එම අරමුදල් රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් හරියට යොදා ගන්න බැරිවුණා. විපක්‍ෂය අයි.එම්.එෆ්. එකට කැමැතියි. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න විනයක් තිබුණෙ නෑ. ආර්ථිකයක් හසුරුවද්දි ආර්ථික විනය අත්‍යවශ්‍යයි. ඒවා එදා තිබුණෙ නෑ. අපේ ආණ්ඩුව ඒ එකඟතාවන් ක්‍රියාත්මක කරලා ඒවා රටේ ජනතාවගේ සහායට යොදා ගත්තා එහි වැරැද්දක් නෑ. රාජ්‍ය ව්‍යාපාර විකිණීම වෙනුවට එහි ණය බර භාණ්ඩාගාරය භාරගෙන ඒ ආයතන මුදාහැර තියෙනවා. ලංකා සීනි සමාගම ඇතුළුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණන්න දාලා තිබුණෙ. එහි ණය ගෙවලා නිදහස් කිරීමට යෝජනා කළා. ඒක රජය යටතේ තබාගෙන දියුණු කරන්න කවුරුත් විරුද්ධ නෑ. බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. ආදායම් ලබාගන්න බදු පරාසය අඩු කළා. එය කළ යුතු දෙයක්. ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හොඳ දෙයක් නම් ඊට විරුද්ධ විය යුතු නෑ.

බදු කාර්යක්‍ෂමතාව ඇති කරලා අපි බදු එකතු කර ගත්තා. ආදායම් වියදම් කිරීම පරිස්සමින් සිදු කරනවා. ආර්ථිකය ස්ථාවර කර ගමන ආරම්භ කිරීමයි අයවැයේ අරමුණ. මේ ආරම්භ කරපු ගමන නවත්වන්න බෑ.

රට පුරාම තියෙන ඌන උපයෝගී ගොඩනැඟිලි අවශ්‍යතා අනුව ප්‍රයෝජනයට ගන්නවා. කර්මාන්ත වෙනුවෙන් බිලියන 120ක් වෙන්කර තිබෙනවා. කර්මාන්ත ප්‍රවර්ධනය, සුළු කර්මාන්ත, ශ්‍රම බළකාය වර්ධනය, සංචාරක පහසුකම්, වෙළෙඳ පහසුකම් හා තාක්‍ෂණ සේවාවන් වෙනුවෙන් මේ මුදල වැය කරනවා. සුළු, මධ්‍යම හා කුඩා ව්‍යවසායකයන්ට ණය දෙන්න රුපියල් මිලියන 80,000ක මුදලක් වෙන්කර තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල මෙයයි. මේ වෙන්කර ඇත්තේ ලබන වසරට පමණයි. ජනවාරි මස සිට අලුතින් හැම අංශයකින්ම ආරම්භ කරන අයට ණය දෙන්න බිලියන 80ක අරමුදලක් ඇති කර තිබෙනවා. ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් මේක. මේවා දැක්කම විපක්‍ෂය කලබල වීම ස්වාභාවිකයි.

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් මුණසිංහ –

අයවැය කතාව යනු මොකද්ද කියලා දැන දැනම එක් එක් අංශවලට මුදල් වෙන්කර නෑ කියලා විපක්‍ෂයේ අය කියනවා. හැම කරුණක්ම අයවැය කතාවේ දාලා නෑ. ඒවා අමාත්‍යාංශයට අදාළ වියදම් වාර්තාවල තියෙනවා. විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු මේවා කියන්නේ නොදැන නොවෙයි.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී. දිගම්බරන් (සජබ) –

අයවැයෙන් ආණ්ඩුව වතුකරයේ ජනතාවට මිලියන 5000ක් වෙන්කර තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. මෙය දවස් 25න් දෙනවාද දිනපතා දෙනවාද කියලා පුළුවන්නම් කියන්න. විපක්‍ෂයේ නාමල් රාජපක්ෂ, නිසාම් කාරියප්පර් මේ යෝජනාවට විරුද්ධ වෙනවා ජනතාවගේ බදු සල්ලි ජනතාවට දෙනවා කියලා. අවුරුදු 200ක් මේ කම්කරු ජනතාව රටට හම්බ කර දී තියෙනවා. ඒ අයට දෙන්නේ නැත්නම් කාටද දිය යුත්තේ. ඒ නිසා ඒ විවේචන කරන්න එපා. ඒගොල්ලෝ බලයේ සිටියදී දෙන්න බැරිවුණා. දෙන කෙනෙක් දෙන විට ඒ ගැන සතුටු විය යුතුයි. ඒ නිසා වතු කම්කරුවන්ගේ පඩි වැඩි කරපු නිසා මම ජනාධිපතිතුමාට ස්තුති කරනවා.

නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න –

වතු ජනතාවට වැඩි කරපු මුදල ගැන විවිධ විවේචන කරනවා. මේ වනවිට ඒ දිරි දීමනාවට විපක්‍ෂය කුහක ලෙස ප්‍රහාර එල්ල කරනවා. විපක්‍ෂ නායකවරයා වතු කම්කරුවන් වතු හිමියන් බවට පත් කරනවා කියලා කිව්වනේ. විපක්‍ෂයේ මන්ත්‍රීවරියක් වතු කම්කරුවන්ට රජයෙන් මුදල් දීම ගැන මාධ්‍යවල දැඩි විවේචන කරලා. අදාළ වගකිවයුතු ආයතනවලින් ප්‍රශ්න කරන බවද කියා තිබෙනවා.

වතුකරයේ ජනතාවත් අපේ රටේ පුරවැසියෝ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් රජය ලබාදිය යුතුයි. ආණ්ඩුව ඔවුන් ගැන බලා තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය නැංවීමට පියවර ගන්නවා. මිලියන 4ක සංචාරකයන් පැමිණීමේ ඉලක්කය ළඟාකර ගන්න අපි උත්සාහ කරනවා.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) –

අවුරුදු 76ක් රට විනාශ වුණා කිව්වත් ඒ කාලයේ රටට ලැබුණු දේවල් ජනතාව දන්නවා. ජවිපෙ ආරම්භ වී වසර 60යි. ඔවුන් හැම රජයක්ම කරන කරන දේට විරුද්ධ වුණා. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය හරි නෑ ඒ නිසා ජවිපෙ වමට බර ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව එදා ඔවුන් කිව්වා. අද අපි සතුටු වෙනවා ඒ පක්‍ෂය අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිගෙන ඉදිරියට ගෙන යනවා. එදා කරපු විනාශයට ජවිපෙ වගකිව යුතුයි. පිටරට සමග ගිවිසුම් අත්සන් කරද්දි හැම එකකටම විරුද්ධ වුණා. පළාත් සභා එනවිට ඒකට විරුද්ධව ඡන්දෙ දෙන්න දුන්නේ නෑ. එදා එට්කා සීපා ගිවිසුම්වලට විරුද්ධ වුණා. වැඩිපුර හිටියෙ පාරේ. අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධ වුණා. අද එය ගෙනැල්ලා. ආණ්ඩුව එදා පාරට බැහැලා විරුද්ධ වුණේ නැතිනම් අද මේ රට ඉහළ තැනක තියන්න තිබුණා.

තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ –

පසුගිය ආණ්ඩුව ණය අරගෙන ණය උගුලක රට හිර කරලා තියෙන්නේ. අපිට ඒකෙන් ගැළවිලා යන්න බෑ. ණය වාරික ගෙවන්න වෙන් කරන්න වෙලා තියෙනවා බිලියන 21494ක්. මේක වෙන් කරන්නේ නැතිව අයවැය දුවන්න බෑ. ප්‍රතිශතයක් ලෙස ආදායමෙන් සියයට 85ක් අදටත් ණයවලට ගෙවීම් කරමින් තමයි සංවර්ධනය කරා යන්න වෙන්නේ. වෙන විකල්පයක් නෑ.පරණ පවුත් ඇදගෙන ගිහින් තමයි අපිට රට සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ ඒක ඇතුළේ ප්‍රාග්ධන වියදම්වලට බිලියන 1380ක් වෙන්කළා. අයවැය හදාරන්න. කටට එන දේවල් කියන්න එපා කියලා විපක්ෂයට කියනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) –

පළවෙනි අයවැයේ වෙන්කළ මුදල් කොපමණ ප්‍රමාණයක් වියදම් වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය ආණ්ඩුවලදී පරිපූරක ඇස්තමේන්තු දාලා මුදල් අනුමත කර ගන්නවා අවුරුද්ද අතරමැද.

හැත්තෑ හය වසරක ශාපය ගැන කියපු ආණ්ඩුව අලුත් පනතක් ගෙනැල්ල අලුත් ආර්ථික ගැම්මක් ගන්න නීති ගෙනාවද? මේ ආණ්ඩුව මැතිවරණ කාලයේදී සුළු ව්‍යාපාරිකයන් ගැන කොහොමද කතා කළේ? දැන් වැට් සීමාව මිලියන 30ට අඩු කරලා. දවසකට ලක්‍ෂයක එහා ගනුදෙනුවක් කරන ආයතනවලටත් වැට් වදිනවා. පොඩි පොඩි කඩවලට පහර වදිනවා. මේ විදියට වැට් ගහන්නේ මහා පරිමාණ සුපිරි වෙළෙඳසැල්වලට තවත් ඉඩ ලබාදීමටද? මෙයින් කුඩා ව්‍යාපාර වැහිලා යනවා.

මේ ආණ්ඩුවට අවුරුද්දක් කල් දුන්නා. වැඩ වර්ජන කළේ නෑ. අද ගොවියා පාරට බැහැලා. රටපුරා උද්ඝෝෂණ, විදේශ ආයෝජන නෑ. මේ රට අවුරුද්දක් තුළ එක තැන පල්වුණා හැර වෙන දෙයක් නෑ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක ශ්‍රීලපොපෙ) –

මේ වසරට වෙන්කළ මුදල්වලින් සියයට 50ක් වත් වියදම් කර නෑ. බෙහෙත් ටික ගේන්න මුදල් වැයකර නෑ. රෝහල්වලට මුදල් වෙන්කර නෑ. කුලුනු සීයක් ගහනවා කිව්වත් 30යි හදලා තියෙන්නේ. හැම අතින්ම වෙච්ච පොරොන්දුවලට කිසිම දෙයක් වෙලා නෑ. මේ වසරෙත් පොරොන්දු මාලාවේ සියයට 50ද ඉටු වෙන්නේ. සෘජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කරනවා කිව්වත් දිගින් දිගටම වක්‍ර බදු වැඩි කරනවා.

වාහන පර්මිට් දෙන එක නැවැත්වුවේ 2020 දී. මේ වසරෙ නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ තමයි එය නැවැත්වූවේ. නමුත් රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *