පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සහ එංගලන්තයෙන් ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මාධ්‍යවේදිනියක වන නිර්මලා කන්නංගරව කැඳවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් මෙම විමර්ශනය මෙම වසරේ පෙබරවාරි 14 වැනිදා ආරම්භ කර ඇති අතර, ඒ ‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලක් මතයි.
කෙසේ නමුත්, ඉන් අනතුරුව අප්‍රේල් 03 වැනිදා 42851/01/25 අංකය යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ පිළිබද කරුණු වාර්තා කර ඇති බවත් එයින් පසු නඩුව බහා තබා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළ අතර, මාධ්‍යවේදිනී නිර්මලා කන්නංගර විසින් නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකය පිළිබද සිදුකළ ගවේෂණාත්මක හෙළිදරව්වෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන එම විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
එමෙන්ම කූඨ ලේඛනයක් සකස් කිරීම සහ කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම යටතේ නාමල් රාජපක්ෂට එරෙහිව අධිකරණයට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මෙම ලන්ඩන් සිටි යුනිවර්සිටි යන විශ්වවිද්‍යාලයේ නීති උපාධිය නාමල් රාජපක්ෂ සිය අයදුම්පත යොමු කරන දින වන විට ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලය විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් ද නොවූ නමුත් එවකට අගවිනිසුරු සුනිල් සිල්වා සහ එවකට නීතිපති මොහාන් සිල්වා මහතා ඇතුළු පිරිසකගේ මැදිහත්වීම් මත එම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය සහ එංගලන්තයෙන් ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මාධ්‍යවේදී නිර්මලා කන්නංගර විසින් නාමල් රාජපක්ෂගේ නීති උපාධි සහතිකයේ නීත්‍යානුකූලභාවය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බවත්, මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු බවත් ය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා අද පස්වරුවේ හෝ පැමිණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරිමක් සිදු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළ අතර, මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මෙම චෝදනා සම්බන්ධයෙන් සඳහන් කළේ ඒවා අසත්‍ය ප්‍රකාශ වන බවත්, 21 රැළියේ දී එයට පිළිතුරු දැක්වීමට සූදානම් බවත් ය.