රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය තනිකරම පෞද්ගලික සංචාරයක් බව ලන්ඩන් ගිය රහස් පොලිසිය අනාවරණ​ය කර ගනියි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරය පිළිබදව වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පසුගිය දා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.

මෙම පිරිස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන අවස්ථාව වන විට, එහි සිටි, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමකොමසාරිස් සහ නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නිළධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඔවුන්ගේ එම ප්‍රකාශ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය, වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් සිදු වූ නිල ආරාධනයක් අනුව සිදුවූවක් නොවන බවත්, එය තනිකරම පෞද්ගලික සංචාරයක් බවත් අනාවරණය වී ඇති බව, බීබීසී සන්දේශය වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා පවසයි.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරය නිල ආරාධනයක් අනුව සිදු කළ බව කියමින්, ඔහුගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් ලද ලිපිය, ව්‍යාජ ලේඛනයක් වීමේ අවදානමක් පවති.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිස, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබද විමර්ශනය කිරීම සදහා ලන්ඩන් නුවරට ගොස් තිබුනේ නීතිපතිවරයා දැනුවත් කිරීමකින් තොරවයි.

එම නිළධාරීන් පිරිස බ්‍රිතාන්‍යය බලා පිටත්ව යෑමට පෙර, හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයන්ට, නීතිපති පාරින්ද රණසිංහ මහතා මුණ ගැසීමට අවශ්‍යව තිබුණු නමුත්, ඔවුන් නීතිපති හමුවන විටත් අදාල නිළධාරීන් පිරිස් ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබුණි.

නීතිපතිවරයා විසින්, රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතීඥයන්ට හමු වීමට අවස්ථාවක් ලබා දීම ද නීති විරෝධී කටයුත්තක් බව සන්දේශය පුවත්සේවය පවසයි.

නීතිපති පාරින්ද රණසිංහ නීතිපති ධූරය සදහා පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

පාරින්ද රණසිංහට වඩා ජ්‍යේෂ්ඨ නිළධාරිනියක් සිටිය දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *