වීථි සුනඛයෙකු මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
පන්නිපිටිය විද්යාල හංදිය ප්රදේශයේ ජනතාවට ඊයේ (25) සුවිශේෂී දිනයක් වුයේ ඔවුන් ‘බ්ලැකී’ වෙනුවෙන් කළ ඉල්ලීමට මෙලෙස නීතියෙන් පිහිටක් හිමිවීම හේතුවෙනි.
පන්නිපිටිය විද්යාල හංදියේ අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වන කාගෙත් ආදරය දිනාගත් ‘බ්ලැකී’ වසර පහළොවක පමණ කාලයක් එම ප්රදේශයේ ජීවත් වූ වීථි බල්ලෙකි.
එම පටුමඟේ ජීවත් වන කාගේත් ආරක්ෂකයා වුයේත් ‘බ්ලැකී’ වූ නිසාවෙන්ම සියලුදෙනාගේම ආදරය හා කරුණාව දිනාගැනීමට ‘බ්ලැකී’ සමත්ව සිටියේය.
තුන්වේලටම කන්න දෙයක් නිරන්තරයෙන්ම ලැබෙන ‘බ්ලැකී’ පටුමඟේ නිවසක් අසල නිදහසේ වැතිරී සිටින්නේ කිසිවෙකුගෙන් බාධාවක් නොවූ හෙයිනි.
සියලුදෙනාගේ ආදරය දිනාගත් ‘බ්ලැකී’ පසුගිය නොවැම්බර් මස 14 වන දින කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවී ඉතා අවාසනාවන්ත ලෙස මිය යන්නේ අලුබෝගහවත්ත පටුමඟේ ප්රදේශවාසීන්ගේ දෙනතට කඳුලක් එක්කරමිනි.
ප්රදේශවාසීන් චෝදනා කර සිටියේ, එම රිය අනතුර සිතාමතා සිදුකළ එකක් බවටය.
මේ හේතුවෙන් ප්රදේශවාසීන් සියලු වැඩරාජකාරි පසෙකලා නොවැම්බර් මස 16 වෙනිදා කොට්ටාව පොලීසියේ ‘බ්ලැකී’ ගේ මරණය වෙනුවෙන් පැමිණිල්ලක් ගොනුකළේය.
එයට සත්ත්ව සුබසාධන සංගම්ද මැදිහත් වී තිබූ අතර, දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.
අදාළ නඩුව ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේ දී එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය දෙසැම්බර් මස 9 වනදා දක්වා මෝටර් රථය පැදවූ සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට නඩුව යළි කැඳවීමටත් නියෝග කළේය.
අධිකරණය මඟින් මෙම තීරණය ලබාදීමෙන් අනතුරුව ප්රදේශවාසීන් සියලුදෙනා එක්ව ‘බ්ලැකී’ගේ නිසල දේහය තැන්පත්ව ඇති ස්ථානයේ ඉටිපන්දම් දල්වන්නට වුහ.
Source : Ada Derana