ආපදාවේදී ලංකා රජයේ ක්ෂණික මැදිහත් වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක් වෙයි

සමස්ත දිවයිනම මහා විනාශයකට ඇද දැමු දිට්වා සුළි කුණාටුවේ බලපෑමේ දී ශ්‍රී ලංකා රජයේ ක්ෂණික මැදිහත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා.

ආපදාවට රට මුහුණ දුන් මොහොතේ සිට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන් ඒ සදහා ක්ෂණිකව ක්‍රියාකළ ආකාරය ඔවුන්ගේ දැඩි අවධානයට යොමුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා කාර්යාලය විපතට පත් මොහොතේ සිට දැඩි අවධානයකින් ශ්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්ෂණය කරන අතර එමගින් ඔවුන්ගේ වාර්තා ද ජාත්‍යන්තරය වෙත නිකුත් කරමින් යාවත්කාලීන කරමින් සිටිනවා.

අවසාන වරට නිකුත් කර ඇති වාර්තාවට අනුව නොවැම්බර් 30 වනදා රාත්‍රීයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් ව්‍යසනයේ බරපතළකම අවධාරණය කිරීම ඔවුන්ගේ පැසසුමට ලක්වුණා.

රජයේ සම්බන්ධීකරණ ප්‍රතිචාරය ගෙන හැර දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපතිවරයා සැමගේ එකමුතුභාවය ඉල්ලා සිටීම ඔවුන් අවධාරණය කර දක්වා තිබෙනවා.

ගලවා ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර දිවිගලවා ගත් අය නිවාසවල ඥාතීන් සමග හෝ නවාතැන්වල රැදී සිටිනවා.

පාර්ලිමේන්තු ප්‍රමාදයන් මගහරිමින් රජය ක්ෂණිකව සහන සදහා රුපියල් බිලියන 30ක් වෙන් කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

වැඩිදුර ආධාර / අතිරේක ඇස්තමේන්තුවක් හරහා ලබා ගැනීමට ක්‍රියාකිරීම ද ඔවුන්ගේ දැඩි අවධානයට යොමුවීම කැපී පෙනෙනවා.

අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සිදුවෙමින් පවතින අතර ජීවනෝපායන් සහ කර්මාන්ත පුනර්ජීවනය කිරිමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි එම සංවිධානය ජාත්‍යන්තරයට පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා ක්ෂණිකව ඇමති මණ්ඩලය රැස්කරමින් ආපදාවන්ට ලක්වු ප්‍රදේශ සහ විපතට පත්වුවන්ට සහන සැලසීමට ඇති බාධා ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ප්‍රතිසංධාන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා.

ඛේදජනක ලෙස ගලවා ගැනිමේ මෙහෙයුම් අතරතුර නාවික හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ ගුවන් හමුදා නියමුවෙකු මිය යාම ද ඔවුන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

පිසූ ආහාර / වියලි සලාක / ඇදුම් පැලදුම් / සනීපාරක්ෂක ද්‍රව්‍ය හා අනෙකුත් අවශ්‍යතා සදහා හදිසි ආධාර රජය / සිවිල් සමාජ සංවිධාන / දේශපාලන ආයතන / මාධ්‍ය සහ පෞද්ගලික අංශය මගින් මහජන සහයෝගයෙන් බලමුලු ගන්වා බෙදා හැර තිබෙනවා.

දින කිහිපයක් යන්නට මත්තෙන් අයහපත් කාලගුණයෙන් විනාශයට පත්වු මාර්ග කිහිපයක් යළි විවෘත කිරීමට රජය කටයුතු කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවට ඇතුලත් වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා ඇත්තේ ඇල්ල වැල්ලවාය / පාදෙණිය / අනුරාධපුර / මහනුවර / යාපනය සහ කුරුණෑගල ත්‍රිකුණාමලය මාර්ග ඇතුලු මාර්ග රැසක් මේ වන විට ගමනා ගමනයට විවෘත කර ඇති බවයි.

එමෙන්ම අනාරක්ෂිත භාවය පිළිබද ගැටලු විසදීමට ද රජය පූර්ණ වශයෙන් මැදිහත්වී සිටිනවා.

තාවකාලික බාධාවන් නොතකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටපුරා පවතින බවට රජය මහජනතාවට සහතික කර තිබුණා.

පාරිභෝගික භාණ්ඩ මිල කෘත්‍රිම ඉහළ නංවන වෙළදුන්ට එරෙහිව පැමිණිලි පවා සිදුකිරීමට වෙළද අමාත්‍යාංශය සම්බන්ධතා අංක ද ලබාදිමට කටයුතු කිරීම රජය සෑම අංශයක් කෙරෙහිම දැක්වු දැඩි ප්‍රතිචාරය පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සනීපාරක්ෂාව යථා තත්ත්වයට පත්කිරීම සහ තවදුරටත් සහාය ලැබෙන තෙක් ආරක්ෂිතව ජීවත් වීම සදහා ආපදාවෙන් බලපෑමට ලක්වු සෑම නිවසකටම රුපියල් 25,000 මුලික ප්‍රධානයන් රජය නිවේදනය කළා.

සංසරණය වන වැරදි තොරතුරු සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්විම සදහා හදිසි නීති රෙගුලාසි යටතේ නව විධිවිධාන හදුන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම හදිසි නීතිය පිළිබද සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයින් මතුකළ කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින් රජය ප්‍රකාශ කර තිබුණේ මෙම හදිසි නීතිය භාවිත කරනු ලබන්නේ සහන ප්‍රයත්නයන් වඩා හොදින් සම්බන්ධිකරණය කිරිම සදහා පමණක් බව ජනාධිපතිවරයා යළි යළි අවධාරණය කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා.

ආපදා අරමුදල් කළමනාකරණය කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සදහා කැබිනට් අනුමැතියේ සහාය ගැනීම ද ඔවුන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

රාජ්‍ය / පෞද්ගලික හවුල්කාරීත්වයක් හරහා මහාමාර්ග වාරිමාර්ග පද්ධති සහ අනෙකුත් තීරණාත්මක පහසුකම් යළි ගොඩගැනීම අරමුණු කරගත් මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිසන්ධාන උපයා මාර්ගයන් ජනාධිපතිවරයා ජාතික අමතමින් දැනුම් දී තිබු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම රජයේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත්කිරීම ද ඔවුන්ගේ අවධානයට යොමුව තිබෙනවා. විදේශ මුදල් පරිත්‍යාගයන් දැනටමත් ලැබෙමින් පවතින අතර ඒ සදහා යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කෙරුණා.

ශ්‍රී ලංකාව සමග රැදි සිටින්න යන තේමාවෙන් දියත් කළ මෙම රජයේ නිල පරිත්‍යාග ද්වාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වාර්තාවට ඇතුලත් වී තිබුණා.

චීනය / ඕස්ට්‍රේලියාව / ඇමෙරිකා එක්සත් ජනපදය / ජපානය සහ නවසීලන්තය ආධාර ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් භූමියෙන් ලබාදෙන සහයෝගය ද ලබාදී තිබෙනවා.

එමෙන්ම සහන ද්‍රව්‍ය කඩිනම් ලෙස සැකසීම සහතික කිරීමට වේගවත් නිෂ්කාශන යාන්ත්‍රණයක් හදුන්වා දී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මානුෂිය හවුල්කරුවන්ගේ සම්බන්ධීකරණය / සුදානම සහ ප්‍රතිචාරය ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට ලක්ව තිබෙනවා.

තවද ඔවුන් සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මානුෂිය හවුල්කරුවන් සමග සමීප සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ කඩිනම් අවශ්‍යතා තක්සේරුවක් ලබාදීමට නායකත්වය ලබාදෙන බවයි.

මේ අතර ලෝක බැංකුව ද ශ්‍රී ලංකාව වෙත දැඩි අවධානය යොමුකර ඇති අතර ඉතා කඩිනමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර සමුළුවක් සංවිධාන කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *