මෑතකාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාව හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින් තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදු වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් දී ඇත. 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව, ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 වැනි දිනට පෙර ඉල්ලීමක් කළවිට මෙලෙස දක්වා ඇති සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව තාවකාලික ණය සහන ලබාදීමට ද පියවර ගෙන තිබෙන අතර බලපෑමට ලක් වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල සහ හෝ ණය පොලිය ආපසු ගෙවීම, මාස 3 සිට 6 දක්වා කාලයක්, ඒ ඒ සිද්ධිය සලකා බලමින්, අත්හිටුවීම හෝ මේ සම්බන්ධයෙන්, ණය අත්හිටුවන කාලයේ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල් දැමූ පොලී ගෙවීම් සඳහා, කිසිම පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට දන්වා තිබේ. ඊට අමතරව බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම් ලබාදීමට ද පියවර ගෙන තිබෙන අතර බලපත්‍රලාභී ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින්, බලපෑමට ලක්වූ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ඒ ඒ සිද්ධිය සලකා බලමින් නව ණය පහසුකම් ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත. අත්හිටුවීමේ කාලය ඉකුත්වීමෙන් පසු අවම වශයෙන් මාස 3ක සහන කාලයකින් පසු නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සිදුවන අතර වසර 2ක කාලයක් දක්වා ලබාදෙන ඕනෑම නව ණයක් සඳහා, මේ චක්‍රලේඛයේ දිනට ණය ගනුදෙනුකරුගේ අයිරා පහසුකම් හෝ ණය පහසුකම් සඳහා අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතවලින් අඩු පොලී අනුපාතය හෝ වාර්ෂිකව සියයට 9 යන අගයන්ගෙන් අඩු අගය උපරිම ස්ථාවර පොලී අනුපාතය ලෙස අය කිරීම හෝ බලපත්‍රලාභී බැංකුව විසින්, වසර 2 කට වැඩි කාලයක් සඳහා මේ යටතේ ලබාදෙන ඕනෑම නව ණය පහසුකමක් සඳහා, ණය ගනුදෙනුකරු සමඟ ඇති කරගත් ණය ගිවිසුමේ දක්වා ඇති පරිදි, වසර 2 අවසානයේ ඇති බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය හා සබැඳි අනුපාතයකට පොලී අනුපාතය සංශෝධනය කිරීම මෙහිදී තහවුරු කළයුතු වේ.
මීට අමතරව, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ගේ සියලු ණය පහසුකම්වලට අදාළව චෙක්පත් අගරුවීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීම සඳහා වන ගාස්තු, ප්‍රමාද ගාස්තු, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ / ප්‍රති ලේඛනගත කිරීමේ ගාස්තු සහ දඩ පොලිය අය කිරීම 2026.01.31 දක්වා අත්හිටුවන ලෙස ද බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා ඇත. එවැනි ගාස්තු ස්වයංක්‍රීය පද්ධතියෙන් ජනනය කරන ලද සටහන් හරහා අය කරනු ලබන විට, ඒවා අය කිරීමෙන් පසු ව්‍යාපාරික දින 3ක් ඇතුළත අදාළ ගිණුමට ආපසු බැර කළයුතු බවද බලපත්‍රලාභී බැංකු වෙත දන්වා ඇත.
ඕනෑම ණය ප්‍රතිව්‍යූහගත,ප්රතිලේඛනගත කිරීමකට අදාළ නියමයන් සහ කොන්දේසි සහ ණය පහසුකම්වලට අදාළ මුල් ණය මුදල, පොලිය සහ අනෙකුත් ගාස්තුවල සැකැස්මක් අනුමැතියට පෙර අදාළ ණය ගනුදෙනුකරුට පැහැදිලිව දන්වා සිටින ලෙස සහ ඒ සඳහා ණය ගනුදෙනුකරුගේ කැමැත්ත ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මඟින් ලබා ගන්නා ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා සිටී. ඉහත සඳහන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇතිවුවහොත්, බලපත්‍රලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතු වූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම්දිය යුතු අතර, අයැදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙන බව දන්වා සිටිය යුතු බවද දැනුම් දී ඇත.
ණය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන නව ණය අයැදුම්පත් බලපත්‍රලාභී බැංකු විසින් අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශ වාර්තා මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීම සිදුනොකළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇත. ජීවනෝපාය සාමාන්‍යකරණය කිරීම සහ ව්‍යාපාර යළි පණගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් කාලීනව ක්‍රියාත්මක කරන විවිධ ආපදා සහනවලට අමතරව, බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට මේ සහන ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.