ග්‍රික බැදුම්කර නඩුව අල්ලස් කොමිසම අස් කරගනියි – අජිත් නිවාඩ් කබ්‍රාල් රජයට මිලියන 1800ක වන්දියක් ගෙවන්න එකග වෙයි

2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදුවූ අතිවිශාල පාඩුව සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් චූදිතයන් “නිදොස් කොට නිදහස් කර ඇති” බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව අල්ලස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.  

මෙය කොන්දේසි සහිතව නඩුව ඉල්ලා අස්කර ගැනීමක් බවත්, අදාළ වන්දි මුදල ගෙවීම අනිවාර්ය බවත් කොමිසම අවධාරණය කර සිටිනවා.

2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදුවූ අතිවිශාල පාඩුව සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

ඒ, අදාළ පාඩුව පියවීම සඳහා රුපියල් කෝටි 184 කට අධික මුදලක් වන්දියක් ලෙස ගෙවීමට කබ්රාල් මහතා එකඟ වීමෙන් අනතුරුව බව අල්ලස් කොමිසම පවසනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනයට අනුව, මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ සරලව චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස නොව, දැඩි කොන්දේසියක් මතය.

දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම එකඟතාවයට පැමිණ ඇත.

මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.

ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.

මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරනවා.

මෙහිදී විශේෂත්වය වන්නේ වසර ගණනාවක් තිස්සේ මෙම ගනුදෙනුව සාධාරණීකරණය කළ කබ්රාල් මහතා, අවසානයේ සිදුවූ අලාභය පියවීම සඳහා පෞද්ගලිකව වගකීම භාරගෙන මුදල් ගෙවීමට එකඟ වීමයි.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම ආරම්භ වන්නේ 2011 වසරේදීයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිව සිටි එම සමයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීසියේ රජයේ බැඳුම්කරවල යුරෝ මිලියන ගණනක ආයෝජනයක් සිදු කරන ලදී. එම අවස්ථාව වන විටත් ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි අතර, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ග්‍රීක බැඳුම්කර ඉතා අවදානම් සහගත මට්ටමේ පවතින බවට අනතුරු අඟවා තිබුණා.

ආර්ථික විශේෂඥයින්ගේ සහ විපක්ෂයේ දැඩි විරෝධය මැද පවා සිදු කළ මෙම ආයෝජනය, 2012 වසරේ ග්‍රීක ආර්ථිකය කඩා වැටීමත් සමඟ අසාර්ථක වුණා.

ග්‍රීසිය විසින් සිය ණය කපා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආයෝජනය කළ මුදලින් විශාල කොටසක් අහිමි වූ අතර, එමගින් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන ගණනක් බව ගණන් බලා තිබුණා.

මෙම ගනුදෙනුව දූෂිත අරමුණින් සිදු වූවක් බවටත්, මහජන මුදල් අවභාවිතයක් බවටත් චෝදනා එල්ල විය.

මෙම නඩුවේ කබ්රාල් මහතාට අමතරව තවත් සිව් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව ඔවුන්ට එරෙහි අධිචෝදනා ඉල්ලා අස්කර ගත් බවත්, ඒ අනුව මහාධිකරණය විසින් එම චූදිතයින් මුදා හැර ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙම නඩුවෙන් චූදිතයන් “නිදොස් කොට නිදහස් කර ඇති” බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි.

image 17 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *