ලැබෙන විදෙස් ආධාර යන්නේ හරි පාරේද සොයන බලන වගකීම ආරක්ෂක අමාත්‍යාංශයට පවරයි

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශීය මානුෂික ආධාර වගකීමෙන් යුතුව විපතට පත් ජනතාව වෙත ලබාදීම සහතික කිරීමේ වගකීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් භාරගෙන ඇත.

ඒ අනුව රාජ්‍යයන්, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජීය සංවිධාන හා අනෙකුත් දායකයන්ගෙන් ලැබෙන ආපදා සහන ද්‍රව්‍ය හා පහසුකම් නිසි ක්‍රමවේදයකට අනුව භාරගෙන වගකීමෙන් යුතුව විපතට පත් ජනතාව වෙතම ලබාදීම සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙහි (NDRSC) පිහිටුවා ඇති ලේකම් කාර්යාලය හරහා මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ ඔස්සේ පිට රට වලින් මෙරටට ලබාදුන් විවිධ ආපදා සහන සැපයුම් සැකසීම, වෙන් කිරීම හා නිරීක්ෂණය සඳහා ජාතික සම්බන්ධීකරණ අධිකාරිය ලෙස කටයුතු කරමින් ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරී මට්ටම දක්වා වූ සියලුම පරිපාලන ස්ථර හරහා විධිමත් ලෙස ආපදා සහන සේවා සැපයුම් ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරනු ලබයි.

කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ, ලැබෙන විදේශීය සහන ආධාර (සැපයුම්) ජාතික ආපදා ප්‍රතිචාර සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියට අනුව, ඒකාබද්ධ වූ ජාතික අවශ්‍යතාවලට නිසි පරිදි ගැළපෙන බව සහතික කිරීමයි. ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටම්වලින් ඉදිරිපත් කරන ලද තක්සේරු මත ගොඩනැගුණු මෙම දත්ත පද්ධතිය, සැපයුම් යැවිය යුත්තේ කොතැනට ද සහ කෙසේද යන්න තීරණය කිරීම සඳහා මූලික පදනම සකසනු ලබයි. ඒ අනුව කමිටුව මගින් එකම ආධාර එකම ස්ථානයක් වෙත නැවත නැවතත් ලැබීම වැළැක්වීම, ප්‍රමාදයන් අවම කිරීම, අඩු ලුහුඬුකම් ආමන්ත්‍රණය කිරීම සහ විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් ඇතුළු වඩාත් අවධානමට ලක්විය හැකි ජන කොටස් වෙත ප්‍රමුඛතා ලැබෙන පරිදි ලබාදීමට අවධානය යොමු කිරීම සහතික කරනු ඇත.

මෙහෙයුම් ක්‍රියාවලිය තුළ, විදේශීය භාණ්ඩ තොග භාර ගැනීම, එම භාණ්ඩ ලේඛනගත කිරීම, තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන්, ගබඩා කිරීම, වෙන් කිරීම සහ බෙදාහැරීමේ ක්‍රියා පටිපාටි කමිටුව විසින් අධීක්ෂණය කරනු ඇත. එසේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කරන ලද ආපදා සහන සැපයුම්, අඛණ්ඩව නිරීක්‍ෂණය සහ වාර්තා කරන යාන්ත්‍රණ පවත්වා ගනිමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කොට්ඨාස වෙත කාර්යක්ෂමව යොමුවන බව සහතික කිරීම සඳහා සැපයුම් මෙහෙයුම් අවසන් අධියර දක්වා අධික්‍ෂණය කරනු ඇත.

එමෙන්ම විදේශ ආපදා සහන ආධාර ලුහුබැඳීමේ පද්ධතිය Foreigh Aid Tracking System කළමනාකරණය කිරීම කමිටුවේ ප්‍රධාන වගකීමක් වේ. මෙමඟින් මෙරටට ලැබුණු, ගබඩා කර ඇති, බෙදාහරින ලද සහ භාවිත කරන ලද සැපයුම් පිළිබඳව තත්‍යකාලීන නිරීක්ෂණය ඍැ්ක එසපැ තොරතුරු සක්‍රීය ලෙස ගොනුගත කරනු ඇත. ඒ අනුව අවශ්‍ය තීරණ ගැනීම සඳහා නවතම සත්‍යාපිත තොරතුරු පදනම් කර ගැනීම සහතික කිරීම පිණිස, සියලුම විෂය භාර අමාත්‍යාංශ, පළාත් පරිපාලන සහ දිස්ත්‍රික් බලධාරීන් විසින් කාලානුරූපීව අලුත් කරන ලද වාර්තා ලබාදීමට සහ දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීම අපේක්ෂා කරනු ලබයි.

ආපදා සහන සැපයුම් සේවා අඛණ්ඩ සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට, නිලධාරීන් කැඳවීමට, වාර්තා ඉල්ලා සිටීමට, විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමට සහ හදිසි අවස්ථාවලදී තාවකාලික නියෝග නිකුත් කිරීමට කමිටුවට බලය පවරා ඇත. තවද, භාණ්ඩ ගබඩා කිරීම, සැපයුම් මෙහෙයුම්, ප්‍රසම්පාදනය හෝ අංශ විශේෂිත බෙදාහැරීම ශක්තිමත් කිරීම සඳහා විශේෂිත තාක්‍ෂණික උප කමිටු පිහිටුවීමට ද කමිටුවට හැකියාව ඇත. විදේශීය සහන මෙහෙයුම් සම්බන්ධයෙන් ගත් කල, එහි තීරණ අදාළ ජාතික ආයතන සඳහා බැඳී පවතී (නීතිමය වශයෙන් වලංගු වේ.)

ඒ අනුව, ඉදිරියේදී ක්‍රියාත්මක සියලුම සහන සේවා, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන අවධීන් පුරාවටම කමිටුව සක්‍රීයව පවතින අතර, මෙහෙයුම් නිල වශයෙන් අවසන් කරන තෙක් විදේශ ආධාර ලබන සියලුම අංශයන් මේ යටතේ අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *