හදිසි ආපදා තත්ත්වය නිසා හානිවූ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට ලබාදෙන ලක්ෂ දෙකක සහන මුදල මෙම සතියේදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීම අරඹන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
ව්‍යාපාරවලට භෞතික හානියක් සිදුවී ඇත්නම් සහ ගොඩනැඟිලි හානියක් සිදුවී ඇත්නම්, එම හානිය ප්‍රතිපූරණය කිරීමට රුපියල් ලක්ෂ 50ක ප්රතිපාදනයක් වෙන් කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කර්මාන්ත පිළිබඳව රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ඊයේ (10) අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් අපේ ප්රමුඛ කාර්ය වන්නේ ආපදාව නිසා අකර්මණ්‍ය වූ, තාවකාලිකව යටගිය කර්මාන්ත නැත්නම් නිෂ්පාදන ආර්ථිකය නැවත වේගයෙන් පණ ගන්වන්නේ කොහොම ද කියන එකයි.
ආපදාවට පත්වූ කර්මාන්තවල තොරතුරු රැස් කරන්න කර්මාන්ත අමාත්‍යාංශය විදිහට අපි, පසුගිය සතියේ ඉඳලා දැවැන්ත උත්සාහයක යෙදී සිටිනවා. අපේ නිලධාරීන්ගේ මහන්සියත් මහජනතාවගේ උනන්දුවත් එක්ක දත්ත ප්‍රමාණයක් අපට එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත සහ නිෂ්පාදන ආයතන ව්‍යාපාර 4,860ක පමණ දත්ත අපට මේ වෙනකොට එකතු වෙලා තිබෙනවා. එම දත්ත ප්‍රමාණවත් මදි. ඊට වඩා වැඩි කර්මාන්ත ප්‍රමාණයක්, ව්‍යාපාර ප්‍රමාණයක් මේ අර්බුදයට ලක්වුණා කියන අවබෝධයෙන් අප තවදුරටත් මේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරලා තියෙනවා.
රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් විදිහට මේ ව්‍යසනයෙන් අර්බුදයට ලක් වූ ලියාපදිංචි සෑම කර්මාන්තයකටම රුපියල් ලක්ෂ දෙකක මූලික ආධාරයක් ලබාදීමට සූදානමින් සිටිනවා. එම ආධාර මුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ සතිය ඇතුළත ගෙවන්න බලාපොරොත්තු වෙනවා.
ඔබගේ ව්‍යාපාරයට භෞතික හානියක් වෙලා තියෙනවා නම්, ගොඩනැඟිලි හානියක් වෙලා තියෙනවා නම්, එම හානිය ප්‍රතිපූරණය කිරීමට ලක්ෂ 50ක ප්රතිපාදනයක් වෙන් කෙරෙනවා.
මේ සඳහා අපට විශේෂයෙන්ම තොරතුරු අවශ්‍යයි. දත්ත විදිහට කිවුවොත් මේ වෙනකොට 4,860ක ව්‍යාපාරික ප්‍රමාණයක් පද්ධතියට දත්ත එකතු කරලා තියෙනවා. ක්ෂුද්‍ර ව්‍යාපාර 1,874ක්, කුඩා ව්‍යාපාර 1,735ක්, මධ්‍යම ව්‍යාපාර 1,059ක්, මහා පරිමාණ ව්‍යාපාර 192ක් ආපදාවට ලක්ව තිබෙනවා. දැනටමත් නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති ව්‍යාපාර ගණන 122ක් වනවා.
මෙම සතිය ඇතුළත ව්‍යාපාර කටයුතු ආරම්භ කළ හැකි බවට තොරතුරු ලබාදී ඇති ව්‍යාපාර ගණන 147ක්. ඉතිරි මාසය සහ මාස තුන ඇතුළත ව්‍යාපාර කටයුතු කරගැනීමට විශ්වාසය ඇති ව්‍යාපාර ගණන 131ක්. වැඩිම තොරතුරු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
මේ සඳහා කර්මාන්ත හිමියන් විසින් www.industry.gov.lk වෙබ් අඩවිය හරහා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ව්‍යවසායකත්ව සංවර්ධන, කුඩා ව්‍යාපාර සංවර්ධන, අපනයන සංවර්ධන හා ඵලදායිතා ප්‍රවර්ධන හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් හරහා අයදුම්පත් යොමු කිරීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර සිදු කළ යුතුයි.
මෙම ක්‍රියාවලියට පරිබාහිරව ඔබ යම්කිසි රක්ෂණ සමාගමකට සම්බන්ධ වෙලා රක්ෂණ ආවරණයක් ලබාගෙන තිබෙනවා නම් එම රක්ෂණ ආවරණයට අවශ්‍ය කරන කටයුතු කඩිනමින් ආරම්භ කරන්න. එය ලබාගැනීමට කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙනවා.
මේ අර්බුදයට ලක්වීම නිසා ඔබේ ව්‍යාපාර අඩපණ වීම නිසා ඔබේ මුදල් ප්‍රවාහ ප්‍රකාශවල ගැටලු ඇති. මේ වෙනකොට ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු ලිපිගොනු ඇතුළත් කරන්න දෙසැම්බර් 31වැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා. මෙම ගැටලු නිරාකරණයට රජය පූර්ණ සහයෝගය ලබා දෙනවා.“