ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට ජීවිතාරක්ෂක ආධාර ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි මානුෂීය හවුල්කරුවන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 35.3ක (රුපියල් බිලියන 10.9ක) මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් (Humanitarian Priorities Plan – HPP) දියත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ප්‍රකාශ කළේ, මෙම සැලැස්ම මගින් 2025 දෙසැම්බර් මස සිට 2026 අප්‍රේල් මස දක්වා කාලය තුළ වඩාත්ම අවදානමට ලක්වූ පුද්ගලයින් 658,000කට හදිසි ආධාර ලබා දීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිදුකළ නිල ඉල්ලීමකට අනුව සකස් කෙරුණු මෙම සැලැස්ම, මේ වන විට ක්‍රියාත්මක ජාතික මට්ටමේ සහන වැඩසටහන්වලට අනුපූරකව, වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශ සහ ජන කොටස් වෙත සහාය ලබා දීම අරමුණු කරයි.
මෙම මානුෂීය සැලැස්ම යටතේ පහත සඳහන් ප්‍රධාන අංශ ආවරණය වන පරිදි ක්ෂණික ජීවිතාරක්ෂක අවශ්‍යතා සපුරාලීමට නියමිත බව ෆ්‍රැන්චේ මහතා පැවසීය:
- අධ්‍යාපනය
- ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මය සහ පෝෂණය
- සෞඛ්‍ය
- ආරක්ෂාව
- නිවාස සහ ආහාර නොවන ද්‍රව්‍ය
- කඳවුරු සම්බන්ධීකරණය
- ජලය, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව (WASH)
- මුල් අදියරේ යළි නැගී සිටීමේ කටයුතු (Early recovery)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව සිදු කරන ලද ඒකාබද්ධ කඩිනම් අවශ්‍යතා ඇගයීමේ (Joint Rapid Needs Assessment) සොයාගැනීම් මත පදනම්ව මෙම සැලැස්ම සකස් කර ඇති අතර, ඉදිරි මැදිහත්වීම් සඳහා මග පෙන්වීමට වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.
ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවූ බව ෆ්‍රැන්චේ මහතා පෙන්වා දුන්නේය. “මිලියන 2.2කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, මේ වන විට මරණ 600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. තවත් 200ක පමණ පිරිසක් අතුරුදහන්ව සිටිනවා. නිවාස 91,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී හෝ හානි වී තිබෙනවා,” ඔහු සඳහන් කළේය.
සමහර පවුල් නැවත නිවාස වෙත ගොස් හෝ විකල්ප නවාතැන් සොයාගෙන ඇතත්, පුද්ගලයින් 85,000කට වැඩි පිරිසක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති. පවතින මෝසම් වර්ෂාව සහ නායයෑම් අනතුරු ඇඟවීම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ කටයුතු අඩාල වී ඇත.
“ඩිට්වා සුළි කුණාටුව වඩාත් දරුණු ලෙස බලපා ඇත්තේ දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාවටයි. එය ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කර ඇති අතර, දැනට පවතින දුෂ්කරතා තවත් උග්‍ර කර තිබෙනවා,” ෆ්‍රැන්චේ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්, පීඩාවට පත් පවුල්වලට ගෞරවාන්විතව යළි නැගී සිටීමට හැකි වන්නේ අඛණ්ඩ සහයෝගීතාවයෙන් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.