තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඊයේ (දෙසැ. 16) ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.
පසුගිය මාසයේ සහ ඉකුත් සතියේ තමාගේ නිවසට හා ඥාති නිවෙස්වලට පොලිසියෙන් යැයි කියමින් නාඳුනන පුද්ගලයන් පැමිණ තිබූ බව ත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ත් මන්ත්‍රිවරයා කීවේය.
ආණ්ඩුවේ අඩුපාඩු තදින් විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන තමන්ගේ ආරක්ෂාව ඉවත් කර තිබෙන බව කී හෙතෙම එවන් පසුබිමෙක ආණ්ඩුවට සම්බන්ධ පැලවත්තෙ කණ්ඩායමක් නාඳුනන පුද්ගලයන් නිවසට යවා තමා නිහඬ කිරීමට හා බිය වැද්දවීමට උත්සාහ කරන්නේදැයි සැකයක් ඇති වන බව සඳහන් කළේ ය.
තමාගේ නිවසට හා ඥාති නිවෙස්වලට පැමිණි නිලධාරීන් කවුරුන් දැයි ඉහළ පොලිස් නිලධාරීන් නොදැනුවත් බව ද මන්ත්‍රිවරයා කීවේය.
නුගේගොඩ, මිරිහාන කොට්ඨාසයෙන් යැයි කියමින් පොලිසියට සම්බන්ධ දෙදෙනෙකු පසුගිය මාසයේ මුල් සතියේ තමාගේ නිවසට පැමිණ තිබූ බව ත් ඒ වන විට තමා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වෙමින් සිටි බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.
එහිදී නිවැසියන්ගෙන් තමාගේ පදිංචිය, ස්ථීර පදිංචිය ඇතුළු කරුණු රාශියක් ගැන විමසා තිබූ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ සම්බන්ධයෙන් මිරිහාන කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකුට කතා කර තමාගේ නිවසට පැමිණි මෙම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැනුවත්දැයි විමසූ බව ත් එවැන්නක් ගැන දැනුවත් නැතැයි එම නිලධාරියා සැලකර සිටි බව ත් පැවසීය.
එසේ ම, මිරිහාන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් ලබාගත් නමුත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව ද මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.
ඊට සතියකට පෙර බොරැල්ලේ තිබෙන තමාගේ බිරියගේ නිවසකට පැමිණි පොලිසියෙන් යැයි කියා ගත් කිහිපදෙනෙකු කරුණු විමසා තිබෙන බව ත් එම නිවෙසේ පදිංචි වී සිටින අයගෙන් තමා සම්බන්ධව, තමාගේ පදිංචිය ඇතුළු තොරතුරු රාශියක් විමසා තිබෙන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.
එසේ ම, පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියමින් පුද්ගලයන් දෙදෙනෙක් තමාගේ නැඟණිය ජීවත් වන ගල්කිස්ස නිවෙසට (මහ ගෙදරට) පැමිණ තමා පිළිබඳව කරුණු විමසා තිබූ බව ද ඔහු කීවේ ය.
වසර දහයකට පෙර තමා එම නිවසින් කොලොන්නාවේ පදිංචියට ගිය බවටත් දැනට ගල්කිස්සේ නිවසේ ජීවත් නොවන බවටත් නැඟණිය දන්වා තිබූ බව කී මන්ත්‍රිවරයා සිම් කාඩ්පතක් නැති වූ බවට තමා පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇතැයි එම නිලධාරීන් දැනුම් දී ඇතැයි ද ප්‍රකාශ කළේ ය.
තමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව ලබා දීමට නැඟණිය සූදානම් වූ විට එම නිලධාරියා එසේ අවශ්‍ය නැතැයි කියා පිටව ගොස් ඇතැයි කී මුජිබර් රහුමාන් තමා කිසිදු අවස්ථාවක සිම් කාඩ්පතක් නැති වූ බව කියමින් පොලිසියට පැමිණිලි කර නැතැයි පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති කරවිටගෙන් මේ ගැන විමසූ විට එවැන්නක් නොදන්නා බවටත් සිම් කාඩ් පතක් අස්ථානගත වූ විට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක පොලිසිය නිවෙස්වලට ගොස් විමර්ශනය නොකරන බවටත් දැනුම් දුන්නේ යැයි ඔහු කීවේය.
එසේ ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරට කතා කළ බව කී මන්ත්‍රිවරයා මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත්ව නැතැයි ඔහු දැනුම් දුන් බව සඳහන් කළේ ය.