හිරු මාධ්‍ය ආයතනය ගැන පියවර ගන්නා ලෙස විදුලි සංදේශ කොමිසමට පොලිසිය දැනුම් දෙයි

හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතාගෙන් කළ විමසිමකදි ඔහු සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු පිළිබදව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කළ බවයි.

ඒ අනුව විද්යුත් විකාශන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නිසි බලධාරියා වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මීට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ ලිපිය මගින් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සඳහන් කළේ කුඩු ව්‍යාපාර හරහා මාධ්‍ය ජාල ගොඩනැගීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක්ද ඉතා ඉක්මනින් හෙළිදරව් කරන බවයි.

මීට අමතරව ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මොහොතක සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද පසුගිය පළමුවැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මූලාශ්‍රය – නිව්ස් 19 ( හිරුණි විජේසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *