නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ – කාදිනල්තුමා නත්තල් දේව මෙහෙයේදී පවසයි

වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත් එය එසේ නොවන බව සියලුදෙනා පැහැදිලිවම තේරුම්ගත යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි. නත්තල් දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.

“ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම. අතහැරීමක් නැතිව ක්‍රිස්තු ධර්මයක් නෑ. ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණේ හැමදේම අතහරිමින්. මේ සඳහා තමයි උන්වහන්සේ බිහි වුණේ. ගව ලෙනක් තෝර ගත්තේ, දුප්පත් දෙමාපියන් තෝරා ගත්තේ, සමාජයේ නැති බැරි අය අතර ජනිත වුණේ. මේ දේ අපි ලෝකයට පෙන්නුම් කරලා දෙන්න ඕනේ. මේ ජීවිතය තුළ අපි ගොඩාක් වෙලාවට ලෞකික ධනය, බලය සහ සම්පත්වල හිරකරුවන් වෙලා ජීවත් වෙනවා. බුදුන් වහන්සේ උගන්නපු ධර්මයේත් තියෙන්නේ අන්න ඒකයි. තණ්හාව තමයි දුකට හේතුව. අපේ සමාජය පිරිසිදු කිරීමට නම් මේ තණ්හාව නැති කරගත යුතුයි.

මේ ගංවතුරක් ඇවිල්ලා අපිට මහ විනාශයක් කළා සහෝදරවරුනි. හේතුව ස්වභාවධර්මය ආත්මාර්ථකාමී ලෙස සමහර අය පාවිච්චි කරන නිසයි. එසේ පාවිච්චි කරන්නට දේශපාලන තලයේ ඇතැම් අය උදව් දුන්න සහ උදව් දෙන නිසා. පරිසර දූෂණය සහ මේ ආත්මාර්ථකාමී පැවැත්ම කෑදරකම, ධනය එකතුකර ගැනීමේ කෑදරකම. මේ කිසිම දෙයක් අපිට අරං යන්න හම්බ වෙන්නේ නෑ. මැරෙන වෙලාවේදී සියල්ලම අතහැරදාලා යන්න වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දෙන මේ පණිවිඩය අත්හැරීමේ වැදගත්කම සහ අනුන් ගැන සිතා ජීවත්වීමේ වැදගත්කම තමයි ක්‍රිස්තු ධර්මය.

මේ වෙළෙඳ ආර්ථිකය නත්තල කියන එක හදලා තියෙන්නේ මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් විදියට පමණයි. නත්තල වෙළෙඳ උත්සවයක් නොවන බව අපි පැහැදිලිවම තේරුම්ගත යුතුයි. නත්තලට වැදගත් වන්නේ නත්තල් ගසවත්, ගව ලෙනවත්, නත්තල් සීයාවත් නොවෙයි. වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීමයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *