නව වසරට (2026 ) අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැඟීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාස මත පදනම් වූ තිරසර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර විය. 1977න් පසු වාර්තා වූ අඩුම අය-වැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17ක් ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අබිබවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉතිහාසයේ සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත්වීම ආදිය මෙසේ 2025 වසරේ ළඟා කර ගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ වේ.
දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට, ලාංකීය පොදු මහජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ මහජනතාවට අවංකව සේවය කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මෙන්ම, අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදා ගැනීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් 2025 වසර මෙරට දේශපාලන සහ සමාජ පරිවර්තනයක හැරවුම් වසරක් ලෙස සනිටුහන් වනු ඇත.
මෙරට මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වාභාවික ව්‍යසනයක අභියෝගයට ද අපි පසුගිය වසරේ දී එක්ව මුහුණ දුන්නෙමු. එහි දී අප ජනතාව තුළ ඇති සහකම්පනීය මනුෂ්‍යත්වය කිසිදු ව්‍යසනයකට උදුරා ගත නොහැකි මහඟු ගුණාංගයක් බව මනාව සනාථ කරමින් රට පුරා ජනතාව විපතට පත් සිය සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගත්හ. මෙම අභියෝගයට මුහුණ දීමේ දී සහාය දුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ යළි නැඟීසිටීමට මිතුරුකමේ සවිය සැපයූ ලොව සියලු මිත්‍ර රාජ්‍ය වෙතද, ආපදා තත්ත්වය හමුවේ ස්වකීය දිවි නොතකා කටයුතු කළ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව මෙන්ම, මෙරට රාජ්‍ය නිලධාරි යන්ත්‍රණය ද මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.
අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇත. ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේ දී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යයයි. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතුවෙන් අප සැම එක්ව පැවැතියාටත් වඩා යහපත් රටක් ගොඩනැඟිය හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරන්නෙමු.
නව වසරක උදාව අපට ගෙවී ගිය වසරේ අත්දැකීම් සමාලෝචනයට අවස්ථාව සලසා දෙන අතරම, නව වසර ගැන සුබවාදී ආකල්පවලින් යුතුව යළි සැලසුම් කරන්නට අවස්ථාවක් උදා කරයි. අප අබිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින්, උදා වූ 2026 නව වසර සියලු යහ-පැතුම් ඉටුවන ජයග්‍රාහී නව වසරක් වේවා’යි ශුභාශිංසනය කරමි.