පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.
ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, සාරා ජස්මින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නම් විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ පිළිබඳව ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක වන බවයි ඔහු පවසන්නේ.
පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ආනන්ද විජේපාල මහතා පෙන්වාදෙනවා.
විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඇතැම් සංවේදී තොරතුරු මේ මොහොතේ පාර්ලිමේන්තුවට හෙළි කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
සාරා ජස්මින් ඉන්දියාවේ සිටින බවට වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවා විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ බව පෙන්වා දුන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා, විදේශගතව සිටින පාතාල සාමාජිකයන් ගෙන්වීමට කටයුතු කරන ආකාරයටම ඇය සම්බන්ධයෙන්ද විවෘත වරෙන්තුවක් ලබා නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළා.
එමෙන්ම ඉන්දීය ඉහළ පෙළේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු මතු කළේද යන්නත් ඔහු විමසා සිටියා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග සහ වරෙන්තු ලබාගැනීමට රජය පසුබට නොවන බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :
“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අණාවරනය වෙලා තියෙනවා, විමර්ෂන අංශයෙන්. අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවැයි කියලා. නමුත් විමර්ෂන දිගින් දිගට පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා. සහ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවේදැයි යන්න පිළිබඳ විමර්ෂන තමා නව රජය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ, මේකේදී ගැඹුරු විමර්ෂනයක් සිද්ධ වෙමින් පවතිනවා.
සමහර කාරනා විමර්ෂනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. ඉතින් විමර්ෂන සිද්ධ කරනවා, අවශ්‍යනම් සාරා ජස්මින්ව වරෙන්තුව ගන්න අපි කටයුතු කරනවා”
මීට පෙර සාරා ජස්මින් මියගොස් ඇතැයි විමර්ෂන අංශයන් විසින් ඇතැම් වාර්තා පළ වූ අතර නමුත් සාරා ජස්මින් පණ පිටින් සිටින බවට ඇතැම් විචාරකයන් සහා මාධ්‍යන් විසින් අනාවරණය කර තිබුණා.