මිල්කෝ සමා­ග­මට අයත් අත්හැර දමා ඇති බඩ­ල්ගම කිරි කම්හල පිළි­ස­කර කර අරඹන්න රජ­යෙන් බිලි­යන 3ක්

මිල්කෝ සමා­ග­මට අයත් දැනට අත­හැර දමා තිබෙන බඩ­ල්ගම කිරි කර්මා­න්ත­ශා­ලාවේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ආරම්භ කිරී­මට රජය රුපි­යල් බිලි­යන 03ක් ලබාදී ඇත. දින­කට කිරි ලීටර් ලක්ෂ 2ක් සැක­සිය හැකි නවීන කිරි කර්මා­න්ත­ශා­ලා­වක් ලෙස මෙය 2027 වසරේ මුල් භාගයේ විවෘත කර මෙරට ආර්ථි­ක­යට දායක කර ගැනී­මට නිය­මි­තය.

මේ කට­යුතු නිරී­ක්ෂ­ණය කිරී­මට මිල්කෝ සභා­පති හේම­ජීව ගෝඨා­භය මහතා ඇතුළු ඉහළ නිල­ධා­රීන් පෙරේදා (06) එහි චාරි­කා­වක නිරත විය.

බඩ­ල්ගම කිරි කර්මා­න්ත­ශා­ලාව අක්කර 35ක භූමි­යක් පුරා පැතිර පව­තින යූරෝ මිලි­යන 63.9ක ආයෝ­ජ­න­යකි. 2016 වසරේ ආරම්භ කළ මේ ව්‍යාපෘ­තියේ මූලික කට­යුතු අව­සන් වීමට තිබුණේ 2019 වස­රේ­දීය. විවිධ හේතු කාරණා නිසා එම කට­යුතු අව­සන් කිරී­මට නොහැකි වී ඇති අතර දැනට කිසිම ප්‍රයෝ­ජ­න­යක් නොගෙන අත්හැර දමා තිබෙන මේ ව්‍යාපෘ­තිය පිළි­බ­ඳව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා විශේෂ අව­ධා­නය යොමු කළේය. එහිදී ඇමැ­ති­ව­ර­යාගේ උප­දෙස් මත මිල්කෝ සභා­පති ඇතුළු ඉහළ කළ­ම­නා­කා­රී­ත්වය විසින් මේ කිරි කර්මා­න්ත­ශා­ලාව යළි ආරම්භ කිරීමේ මූලික කට­යුතු වශ­යෙන් මේ ගොඩ­නැ­ඟිලි ඇතුළු යන්ත්‍ර­සූත්‍ර නිරී­ක්ෂ­ණය කළේය.

මිල්කෝ සභා­පති හේම­ජීව ගෝඨා­භය මහතා බඩ­ල්ගම කිරි කර්මා­න්ත­ශා­ලාව සහ මිල්කෝ සමා­ගමේ ඉදිරි ඉලක්ක සම්බ­න්ධ­යෙන් මෙහිදී අද­හස් පළ කළේය.

“ අපේ රටේ ජාතික ධනය රුපි­යල් බිලි­යන 18ක් විය­දම් කර අත්හැර තිබෙන සම්ප­තක් මේ බඩ­ල්ගම කිරි කර්මා­න්ත­ශා­ලාව. මිල්කෝ සමා­ගම 2025 අවු­රු­ද්දේදී ලංකාවේ ජාතික ආර්ථි­ක­යට ඉතා­මත් හොඳ දාය­ක­ත්ව­යක් දෙමින් මිල්කෝ ආය­ත­නය සම්පූ­ර්ණ­යෙන්ම තම ව්‍යාපා­රික කට­යුතු හොඳ මට්ට­ම­කට ගෙනැ­විත් ඉති­හා­සයේ වැඩිම ආදා­යම සහ වැඩිම ලාභය වාර්තා කළා. ඒ 2025 වර්ෂයේ අපේ ඉල­ක්කය. 2026 වසරේ අපේ තවත් සුවි­ශේෂී අභි­යෝ­ග­යක් වන්නේ රුපි­යල් බිලි­යන 18ක ජාතික ධනය විය­දම් කර පැත්ත­කට කර තිබුණු බඩ­ල්ගම කිරි කර්මා­න්ත­ශා­ලාව නැවත වතා­වක් මේ කිරි නිෂ්පා­දන කර්මා­න්ත­යට රැගෙන ඒමයි. අපේ රටේ ආර්ථික අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් මේ කර්මා­න්ත­ශා­ලාව ප්‍රයෝ­ජ­න­යට ගත හැකි මට්ට­මට වැඩි දියුණු කර ඉදි­රි­යට ගෙන ඒම අපේ ඉල­ක්ක­යයි. මෙය 2026 අවු­රුද්දේ මිල්කෝ සමා­ගමේ ප්‍රධාන අභි­යෝ­ගය. මේ සඳහා අපට රජය ජනා­ධි­ප­තිගේ උප­දෙස් මත රුපි­යල් බිලි­යන 3ක ප්‍රති­පා­දන ලබා දී තිබෙ­නවා. එම ප්‍රති­පා­ද­න­ව­ලින් මේ කර්මා­න්ත­ශා­ලාව නැවත ක්‍රියා­ත්මක තත්ත්ව­යට ගෙන ඒමට හැකි වෙතැයි අපේක්ෂා කර­නවා.

බඩ­ල්ගම මේ කර්මාන්ත ශාලාව, කිරි ලීටර් ලක්ෂ 2ක් දව­ස­කට සැක­සිය හැකි අති­න­වීන කිරි කර්මා­න්ත­ශා­ලා­වක් ලෙස 2027 අවු­රුද්දේ මුල් භාගය වන විට සම්පූ­ර්ණ­යෙන් ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු නිම කිරී­මට බලා­පො­රොත්තු වෙනවා . අපි මේ 2019 ඉවර කරන්න දුන්න කිරි කර්මා­න්ත­ශා­ලා­වක් මේ දක්වා ක්‍රියා­ත්මක නොවී­මෙන් අපට වී තිබෙන පාඩුව අති­වි­ශා­ලයි. අවු­රු­ද්ද­කට අපි පොලිය පම­ණක් රුපි­යල් බිලි­ය­න­ය­කට වැඩිය ගෙව­මින් ජාතික ධනය නාස්ති කර­නවා. ඒ එක කිරි බිංදු­ව­ක්වත් සක­සන්නේ නැතිව. මේ නිසා මේ අප­රා­ධය හැකි ඉක්ම­නින්ම නිවැ­රදි කරන්න ඕනෑ. ඒ සඳහා මගේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය සහ අපේ ඉහළ කළ­ම­නා­කා­රී­ත්වය ඇතුළු සිය­ලු­දෙනා එකතු වී සාමූ­හි­කව මැදි­හත් වී තිබෙ­නවා’යැයි ද මිල්කෝ සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *