එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර 40කට ආසන්න කාලයක් සේවය කළ එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ශ්‍රී ලංකාවේ ධුර කාලය අවසන් කර ලබන 16දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.
තමන් ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතක්ම ආදරයෙන් වැලඳ ගත්තා යැයි ඇය සිය ධුර කාලය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවාය.
පළමු දිනයේ සිටම, මගේ අවධානය යොමු වී තිබුණේ අමෙරිකාවේ ළැදියාවන් ඉදිරියට ගෙනයෑම සඳහායි. එනම් අප දෙරටම ශක්තිමත් කරන ආරක්ෂක හවුල්කාරිත්ව සවිමත් කිරීම, වෙළෙඳාම හා ආයෝජන පුළුල් කිරීම සහ අධ්‍යාපනය සහ ප්රජාතන්ත්රවාදී අගයන් ප්‍රවර්ධනය කිරීම සඳහායි.
“එකට එක්ව, අපි අමෙරිකානු ජනතාවට ප්‍රතිඵල ලබාදෙන, නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු -පැසිෆික් කලාපයකට සහාය වන සම්බන්ධතාවක් ගොඩනඟා තිබෙනවා” යැයි ද ඇය වැඩිදුරටත් කීවාය. 2022 වසරේ පෙබරවාරි මාසයේදී ඇයගේ ධුර කාලය ආරම්භ වූ අතර එම කාලවකවානුවේදී වැදගත් සංධිස්ථාන කිහිපයක් පැවතියේය.
2023 වසරෙහි පැවති අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය, 2024 වසරෙහිදී එක්සත් ජනපද පීස් කෝර් ස්වේච්ඡා සේවකයන්ගේ නැවත පැමිණීම සහ ෆුල්බ්රයිඩ් වැඩසටහනේ 80 වැනි සංවත්සරය මේ අතරට ඇතුළත්ය.
2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදි තනාපති කාර්යලය LEED රන් සහතික ලත් නව පරිශ්‍රයක් වෙත ගෙනයෑමද ඇය අධීක්ෂණය කළාය. එය ශ්‍රී ලංකාව තුළ තිරසර, ආරක්ෂිත සහ දිගුකාලීන පැවැත්මක් පවත්වාගෙනයෑම සඳහා අමෙරිකාවේ ඇති කැපවීම පිළිබිඹු කරන සන්ධිස්ථානයක් වේ. ඉන්දු – පැසිෆික් කලාපයේ අනාගතය සඳහා අවැසි නවීන හවුල්කාරීත්වයක් ගොඩනැඟීම සඳහා වන එක්සත් ජනපදයේ අවධානය අවධාරණය කරයි.
චංග් තානාපතිවරියගේ නායකත්වය යටතේ, එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කරගැනීමට සහාය වීම සඳහා මුලපිරීම් රැසක් ක්‍රියාවට නැංවීය.
අයිඑම්එෆ් විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දීම, ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් බහුවිධ පැකේජයන් සහ මෑතකදී 2025 දෙසැම්බර් මාසයේදී, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට කාලෝචිත මානුෂීය සහාය ලබාදෙමින් ආපදා ප්‍රතිචාරයන්ට සහාය දැක්වීමද මේ කාර්යයන් අතර ඉතා වැදගත් වේ.
එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර, චංග් තානාපතිතුමියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත කරන ලද ශක්තිමත් පදනම තවදුරටත් ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සමීපව කටයුතු කරනු ඇතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යලය පවසයි.
නව එක්සත් ජනපද තානාපතිවරයකු පැමිණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ජේන් හොවෙල් මහත්මිය, වැඩ බලන තානාපති ධුරයේ කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තවදුරටත් පවසයි.