හලාවත – නයිනමඩම මාර්ගයේ ඉරණවිල ගම්මානය තුළ මුහුදට මායිම්ව පිහිටි කුඩා නිවෙසක් පසුගිය කාලයේ කාගේත් අවධානය දිනා ගෙන තිබුණි. ඉරණවිල සහ ඒ අවට පිහිටි තරු පන්ති සංචාරක හෝටල්වල ලැගුම් ගන්නා බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ මෙම නිවෙස බලන්නට නිරන්තරයෙන් පැමිණියහ. ඒ එම නිවෙසේ මිදුල දැක බලා ගන්නටය.
එම නිවෙසෙහි හිමිකාරිය වූ මේරි කැලිස්ටා මහත්මියට වයස අවුරුදු 76 ක් විය. ගමේ සැවොම ඈ ආමන්ත්‍රණය කළේ ‘මේරි අක්කා’ යන ආදර නාමයෙනි.
මේරි අක්කා ඉරණවිල ගමේ කාටත් පෙර අවදි වන්නීය. ඇයගේ දවසේ පළමු රාජකාරිය වූයේ ගෙමිදුල ඇමදීමය. බොහෝ පිළිවෙළට එම කටයුත්ත අවසන් කරන මේරි අක්කා සුදු මල් සහ සිප්පි කටු මිදුල පුරා අතුරයි. එම කටයුත්තෙන් පසුව මේරි අක්කාගේ මිදුල හරහා කිසිවෙකුට ගමන් කිරීම තහනම්ය.ඉරණවිල ගම්මානය පසුකරමින් හලාවත – නයිනමඩම මාර්ගයේ ගමන් කරන ඕනෑම අයකුට එම දසුන සුලබය. වැට මායිමෙන් පිටත සිට මේරි අක්කාගේ මිදුලේ අසිරිය විදින්නට ඕනෑම කෙනෙකුට හැකියාව ඇත. නමුත් පෙර සදහන් කර ඇති පරිදි කිසිවෙකුට මිදුල හරහා ගමන් කිරීම තහනම්ය.
76 වැනි විය පසු වුවද මේරි අක්කා අවිවාහක තැනැත්තියකි. ඇයගේ සහෝදරයින් සහ ඔවුන්ගේ දරුවෝ මේරි අක්කාගේ දුක – සැප සොයා බැලූහ. මේ සහෝදරයින් සහ දරුවන් ඇයට තුන් වේලටම ආහාර පාන ගෙන ගොස් දුන්හ. නමුත් ඒ කිසිදු අයෙකුට මේරි අක්කාගේ මිදුල හරහා ගමන් කිරීම තහනම්ය.
‘ මේ රටේ තියන ලස්සනම මිදුල අයිති මටයි. මම මගේ මිදුලට පණ වාගේ ආදරෙයි. මම මැරෙන තුරා මේ මිදුල ලස්සන කරනවා’ දිනක් ඇය සොයා ගිය අපට මේරි අක්කා කියා සිටියාය.
ඉකුත් 14 වැනිදා මේරි අක්කා සදහටම දෙනෙත් පියා ගත්තාය. ලස්සන මිදුල සහිත නිවසේ තැන්පත් කර තිබූ මේරි අක්කාගේ නිසල දේහය ඊයේ( 15 වැනිදා )සවස ඉරණවිල රෝමානු කතෝලික සුසාන භූමියේ තැන්පත් කර අවසන් කටයුතු සිදුකරන ලදි.
මේරි අක්කාගේ ලස්සන මිදුල දකින්නට අපිට නැවතත් අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ හෙට දවසේ මේරි අක්කා මෙන්ම ඇයගේ ලස්සන මිදුලද අපට අහිමිව යන නිසාය.