ආණ්ඩුව එක්ක නව ව්‍යවස්ථාව හදන්න ඉතිහාසයේ පළමුවර​ට සිවිල් සංවිධානත් සහායට එයි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ විද්වත් මඩුල්ලක සහභාගීත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇත.

ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සිදුකරමින් දේශපාලන පක්ෂ අතර ජාතික වශයෙන් වැදගත් ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතා ගොඩනැඟීම වෙනුවෙන් අන්තර් පක්ෂ සාකච්ඡා සඳහා පහසුකම් සපයන “වන් ටෙක්ස්ට්” (One text) ආයතනය විසින් ඊට පහසුකම් සපයනු ලබයි.

මේ යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාවක් ලබන 21 වන දා කොළඹදී පැවැත්වීමට නියමිත ය.

මෑතකාලීනව මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විෂයයෙහි ඒ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිච්ඡේදයන්හි පවතින වර්ධනය කළයුතු සහ ප්‍රතිසංස්කරණය කළයුතු කරුණු පිළිබඳවත් අදාළ පර්යේෂණ ව්‍යාපෘතියේදී අවධානය යොමු කෙරිණි.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ එහි අන්තර්ගතයන්හි පවතින ප්‍රතිසංස්කරණය කළ යුතු කරුණු පිළිබඳව විශේෂ අධ්‍යයනයක් මේ වන විට ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කිරීම සඳහා මේ වනවිට ලිපියක් ද සම්පාදනය කරමින් පවතින අතර එම ලිපිය මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගේ අත්සනකින් යුතුව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. 

මෙම ක්‍රියාවලියේ ආරම්භය සනිටුහන් කරන එළිදැක්වීමේ උත්සවය එළැඹෙන පෙබරවාරි 03 වන දා සවස 3:00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

මෙම අධ්‍යයනය ආංශික කමිටු පහක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර එම කමිටු සාමාජිකයන් අතර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය රමේෂ් රාමසාමි, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු සහ නීතිඥ රවීන්ද්‍ර දාබරේ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *