මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රීවරු 20ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන එන නව පනත් කෙටුම්පතට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකුට ආසන්න පිරිසක් ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ට පමණක් මෙලෙස විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම අසාධාරණ බව පවසමින් ඔවුන් මෙම නීතිමය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබේ.

පෙත්සම්කාර මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් තර්ක කරන්නේ, රටේ විධායකයට සහ අධිකරණ පද්ධතියේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමි වන්නේ නම්, ව්‍යවස්ථාදායකයට පමණක් එම හිමිකම අහිමි කිරීම නීතියේ සමානත්වය උල්ලංඝනය කිරීමක් බවයි. විශේෂයෙන්ම, මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ වෘත්තියේ නිරත වන හිටපු මන්ත්‍රීවරුන් රැසක්ම අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද සඳහන් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පවසා ඇත්තේ, වසර ගණනාවක් මහජන නියෝජිතයන් ලෙස කටයුතු කළ පිරිසකට විශ්‍රාම වැටුපක් හිමිවීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් බවයි. මෙරට අධිකරණ පද්ධතිය හරහා තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවන්නේ නම්, මෙම ප්‍රශ්නය අන්තර්ජාතික අධිකරණය (International Court) දක්වා රැගෙන යන බවට ද ඔහු අනතුරු අඟවා තිබේ.

වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වූ පරිදි දේශපාලනඥයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ කොටසක් ලෙස මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත හඳුන්වා දුන් අතර, එය නීතිගත වුවහොත් මින් ඉදිරියට මන්ත්‍රීවරුන්ට ජීවිතාන්තය දක්වා ලැබෙන විශ්‍රාම වැටුප් හිමිකම අහිමි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *