හය ශ්‍රේණියේ මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම් – තීරණය අද සිට ක්‍රියාත්මකයි

හය ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩතහනම් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය අද (19 වැනිදා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉහළ තනතුරු දරන නිලධාරීහු දෙදෙනෙක් ද මේ අතර වෙති.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ හිටපු ලේකම් රංජිත් ආරියරත්නගේ මූලික විමර්ශන වාර්තාව අනුවය. ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පාලක සභා රැස්වීමක් පෙරේදා (17 වැනිදා) පැවැති අතර එම රැස්වීමට එම වාර්තාව ද ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පාලක සභාව සාකච්ඡා කර තිබේ. මෙම සතියේ ද යළිත් පාලක සභාව රැස්වීමට නියමිතව ඇත. එම වාර්තාවේ ඇතැම් කරුණු එහිදී යළිත් සාකච්ඡා කිරීමට නියමිත නමුත් ඊට පෙර වැඩතහනම් කිරීමේ තීරණය ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

මොඩියුල සම්බන්ධ ගැටලුව උද්ගත වීමට හේතුව නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අවිධිමත් බව යැයි ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බවත් පැවැසේ.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ද වහාම ආරම්භ කෙරෙන අතර එම පරීක්ෂණයෙන් පසු වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *