ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට කටයුතු කරන අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා ඔහුගේ ධූර කාලය අවසන් වූ වහාම අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (2026.01.19) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී
පිවිතුරු හෙළ උරුමය තරුණ ලේකම් කුමාර රාජරත්න මහතා විසින් ගොණු කල මෙම පැමිණිල්ල පහත දැක්වේ.
2026.01.19
අධ්‍යක්ෂ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
යෝර්ක් වීදිය
කොළඹ 01.
ගරු අධ්‍යක්ෂතුමනි,
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට කටයුතු කිරීම
2026.01.16 දින යාපනය කොකුවිල් තාක්ෂණ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද කතාවේදී පහත ප්‍රකාශය කරන ලදී:
“පූජා භූමියක් කේන්ද්‍ර කරගෙන ගැටුම් පවතිනවා. පෝයට සිල් ගන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරලා යාපනයට එනවා. එතන සීලය නෙවෙයි අපේ හාමුදුරුවනේ, එතන තියෙන්නේ වෛරය. නැත්නම් පන්සල්, පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පහු කරලා යාපනයේ එක තැනකට එනවා සිල් ගන්න. සීලය වෙනුවෙන් නෙවෙයි, වෛරය වෙනුවෙන්.”
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට මෙරට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වලින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලදී.
මෙම ප්‍රකාශය හරහා උතුරේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන මෙරට බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් ඉතා වැරදි චිත්‍රයක් උතුරේ දෙමළ ජනතාව තුළ ඇති කරවීමටත්, එමඟින් උතුරට පැමිණෙන බෞද්ධ ජනතාව පිළිබඳ බරපතල වෛරයක් උතුරේ ජනතාව තුළ ඇති කිරීමටත් ජනාධිපතිවරයා විසින් චේතනාන්විතවම කටයුතු කර ඇත. එබැවින් උතුරේ වන්දනාවේ පැමිණෙන බෞද්ධයින් හිරිහැර වලට බදුන් වීමේ අවධානමක් මතුවී ඇත.
එමෙන්ම මේ ප්‍රකාශයට අනුව, උතුරේ සිට හින්දු සිද්ධස්ථාන රාශියක් පසු කර කතරගම වැඳපුදා ගැනීමට පැමිණෙන දෙමළ ජනතාව සම්බන්ධයෙන් ද දකුණේ සිංහල ජනතාව තුළ වෛරී සහගත හැඟීමක් ඇති විය හැකිය. මෙරට දකුණු ප්‍රදේශයේ පවතින කතෝලික සිද්ධස්ථාන ගණනාවක් පසු කරමින් උතුරේ මඩු පල්ලිය වන්දනා කිරීමට යන මෙරට කතෝලික ජනතාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් ගැටලු ඉස්මතු විය හැකිය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හේතු කරගෙන මෙරට බෞද්ධ, හින්දු, ස්ලාම්, කතෝලික සියලු ආගමික කණ්ඩායම් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බව මින් පැහැදිලි වේ.
එහෙත්, අනුර කුමාර දිසානායක මහතා දැනට මෙරට ජනාධිපති ධුරය හොබවන බැවින් ඔහුට ජනාධිපති මුක්තිය හිමි බව අපි දනිමු.
එබැවින් ඔහුගේ ධුර කාලය අවසන් වූ වහාම, අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට,
දේශප්‍රේමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
කුමාර රාජරත්න
තරුණ ලේකම්