ජනාධිපති භීතිකාවෙන් විපක්ෂය අද කුලප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනපති, අගමැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා පිළිගැනීමට බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය වී තිබුණේ නෑ. එහි බලය තිබුණේ සභාපතිට. ඒ නිසා එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ අනුව චාමරට මම තනතුර බාර දුන්නා. පෞද්ගලික අභිමානයට වඩා බදුල්ල දිස්ත්‍රික්කයට සුවිශේෂී අභිමානයක් මින් ලැබෙනවා. මේ රටට වැඩක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. සභාපති සහ ලේකම් හැරුණු විට තුන්වැනි ස්ථානය ජාතික සංවිධායක තනතුරට හිමි වෙනවා. කැඩී විනාශ වී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශි කිරීමේ වැඩපිළිවෙළ අපි කරගෙන යනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ චරිත සහ පුද්ගලයන් අපට අවශ්‍යයි. වෙන පක්ෂවල නම් තමන්ගේ නෑදෑ හිතවතුන් වගේම පුතාලා මේ තනතුරුවලට ගෙනාවා. එදා මෛත්‍රීපාල මහතා මාව සහ දුමින්ද දිසානායක මහතාව මේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළා. නමුත් දැන් එහෙම හිතුමතේට තනතුරුවලින් ඉවත් කරන්න බෑ. පහළොස් දෙනකු ඉන්නවා. ඒ අයගේ කැමැත්ත සහ අනුමැතිය ඒ සඳහා තිබෙන්න ඕනේ.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුවිශේෂී කාර්යයක් පැවරී තිබෙනවා. අපට හැම දෙනාම එකතු කරගෙන ගමනක් යන්න ඕනෙ. පක්ෂය ශක්තිමත් කරන්න ඕනෙ. විපක්ෂය ශක්තිමත් කරන්න ඕනෙ. විපක්ෂය එක වේදිකාවට ගේන්න ඕනෙ. ධනාත්මක ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. අද මේ රට යන දිසාව පිළිබඳව සියලු දෙනා බලාගෙන ඉන්නවා. ඒ සඳහා නායකත්වය දීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරිය.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු ලෙහෙසියෙන් ලැබෙන්නේ නෑ. වසර විසි පහකට පෙර මේ ගමන පටන් ගත්තත් දැන් තමයි හරියට ගමන පටන් ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අපේ අතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන්නේ. මම මේ තනතුර ගන්න කැමැති වුණේ නෑ. මම කිව්වේ තව ටිකක් හිතලා බලන්නම් කියලා. මේක බැරෑරුම් කාර්යයක්. පක්ෂය ගොඩනඟන්න මට සියලු දෙනාගේ සහාය අවශ්‍යයි.
මේ පක්ෂය ඕන කෙනකුට බාර දෙන්න කැමැතියි. මේ පක්ෂය ඕනම කෙනකුට බාර ගන්නත් පුළුවන්. අපි ඕන වෙලාවක බාර දෙන්න සූදානම්. මේ පක්ෂයේ ජනපති සිහින නෑ. එහෙම සිහින තිබෙන අයට මේ පක්ෂයේ ඉඩ නෑ. මේ පක්ෂය හදලා යම් තැනකට ආවාම ජනපති සිහිනයට යන්න පුළුවන්.
දැන් ජනාධිපතිතුමා උතුරට ගිහින් එකක්, දකුණට ගිහින් තව එකක් කියනවා. දැන් ජනාධිපතිතුමාගේ බණ කවුරුත් අහන්නේ නෑ. උතුරේ සහ දකුණේ මිනිසුන් ළඟ ජාතිවාදය නෑ.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා
“1952දී බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා පැවති මැතිවරණයේදී ආසන නවයක් දිනාගැනීමට සමත් වුණා. එදා පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමයි පංච මහ බලවේගය එකතු කරගෙන මේ පක්ෂය හැදුවේ. මේ පක්ෂය වට්ටන්න බෑ. මේක පොඩි මිනිහාගේ පක්ෂය.
අද ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ශ්‍රී මහා බෝධිය පසු කර නාගදීපයට යනවා කියලා. පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබුණා කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා එක වැරදියි. 1987දී උතුරු නැඟෙනහිර ජනතා ප්‍රශ්න ජේ. ආර්. හිටපු ජනපති විසඳුවා.
කවුරුහරි මේ රට විනාශ කරන්න හදනවා නම් ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ දෙන්නේ නෑ. කාලයක් වැටිලා හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ශක්තිමත් වෙමින් යළි නැඟී එනවා. අපට මේ රජය පෙරළන්න අවශ්‍ය නෑ. හදිසි නෑ. ජනතාව අවුරුදු පහක් බලය දුන්නා. අපි වැඩ වර්ජන, උද්ඝෝෂණ කරන්නේ නෑ. කකුලෙන් අදින්නේ නෑ. බාධා කරන්නේ නෑ. අතරමඟ ආණ්ඩුව කඩා වට්ටන්න උත්සාහ කරන්නේ නෑ.”
මෙහිදී හිටපු ඌව පළාත් මහ ඇමැති සමරවීර වීරවන්නි, හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර, නීතිඥ විජිත මල්ලැහව මහත්වරුද අදහස් දැක්වූහ.
මේ අවස්ථාවට මහසංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, හිටපු ඇමැති දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුද, ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයෝ ද සහභාගි වූහ.