බලපිටිය ප්‍රාදේශිය සභාව දඩාවතේ යන බල්ලන් රැක බලාගැනීමට නිවෙස්වලට බාර දෙයි

බළපිටිය බල ප්‍රදේශයේ තැනින් තැන ගැවසෙන (දඩාවතේ යන) සුනඛයන් අල්ලා රැකබලා ගැනීම සඳහා නිවෙස්වලට භාර දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව බළපිටියේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව, බළපිටිය ප්‍රදේශයේ සිටින වීදි සුනඛයන් අල්ලා බල්ලන් රැක බලා ගැනීමට කැමති පුද්ගලයන්ට මාසික දීමනාවක් ගෙවීමේ පදනම මත භාර දෙන බව ත් කෑම, බෙහෙත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා පවා ලබා දීමට කටයුතු කරන බව ත් මේ වන විට බළපිටිය බල ප්‍රදේශයෙහි පිරිමි  වීදි සුනඛයන් 1,500ක් හා ගැහැනු සතුන් දහසකට ආසන්න  සංඛ්‍යාවක් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වන බව ද ඔහු පැවසීය.

බල්ලන් වන්ධ්‍යකරණයට රුපියල් කෝටි ගණනක් වැය වන බව ත් මේ ක්‍රමවේදය යටතේ රජයට මුදල් ඉතිරි වනවා පමණක් නොව සතුන්ට ද ආරක්‍ෂාව හා රැකවරණය ලැබෙන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ ගැන වැඩිදුරට ත් අදහස් දැක් වූ බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මෙසේ ද කීය.

“ඇත්තෙන්ම මේ සතුන් වාහනවලට විශේෂයෙන් ම බයිසිකල්වලට පැනලා වටිනා ජීවිත පවා අහිමි වූ අවස්ථා තිබෙනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් යන දරුවෙක් අම්මා කෙනෙක් යන විට බල්ලෙක් පැනලා ජීවිතයක් පවා අහිමි වුණු අවස්ථා තිබුණා. වැටිලා තුවාල වෙන අවස්ථා බොහොමයි. එවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු නොවිය යුතුයි. මේ සඳහා වැය බර දරන්න විදේශගත පින්වත් මහත්මයකුගේ අනුග්‍රහයකුත් ලැබී තිබෙනවා. ඒ නිසා මෙම නව වැඩපිළිවෙළ ඉක්මණින් ම ක්‍රියාත්මක කරනවා යැයි ද” බළපිටියේ සුනඛ උවදුර තුරන් කිරීමට මේ මගින් හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *