මේ වසරේ ගෙවුණු දින 25 තුළ අයිස්, හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 797කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. ජේ. සේනාධීර මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ කාලයේ මත්පැන් පානය කර රිය ධාවනය කළ රියැදුරන් ද 15,367ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මාරක අනතුරු ද 140ක් සිදුවී තිබෙනවා. එම අනතුරුවලින් මරණ 148ක් සිදුව තිබෙනවා. රිය අනතුරුවලින් මේ කාලයේ බරපතළ තුවාල ලැබූවන් 328ක් සහ සුළු තුවාල ලැබූවන් 678ක් සිටිනවා. පොලීසියට වාර්තා වූ අලාහභානි වූ රිය අනතුරු ගණන 229ක්.
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රියැදුරු වෘත්තියේ යෙදෙන සියලුදෙනා නීතියේ රැහැනට හසු කර ගන්නවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම රජයේ වගකීමක්. නීතිය සියලු දෙනාටම සමාන ලෙස සලකා කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පොලීසියට උපදෙස් දී තිබෙනවා. රියැදුරන් පරීක්ෂා කරන්න, වැටලීම් අඛණ්ඩව ආරම්භ කරන්න පහසුකම් දී තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පැදවීම වහාම නතර කිරීමට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබෙනවා. එනිසා සියලුම බස් රථ හිමියන් තමන් බඳවාගෙන සිටින සේවකයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිස් ද නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා. සියලු මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ ඉදිරි සතියේ අහඹු පරීක්ෂාවකට ලක් කෙරෙනවා. ඒ සඳහා ජංගම පරීක්ෂණාගාරයක් තිබෙනවා.”