අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලු මගීන් ආසනපටි පැලඳ සිටීම අනිවාර්ය කර ඇති බවද එම නීතිය පිළිනොපදින වාහනවල මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. ජේ. සේනාධීර මහතා ඊයේ (28දා) පැවසීය.
එම නීතිය අනුව ආසන පටි පැලඳ නොසිටින මගීන්ට පමණක් නොව රථයේ හිමිකරුට ද නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ ඒ මහතා පොලිසිය මෙම නීති දැඩිකර ඇත්තේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවද කියා සිටියේය.
පසුගිය දිනවල සිදුවූ බොහෝ අනතුරු නිරීක්ෂණය කිරීමේදී ආසන පටි පැලඳ නොසිටීම නිසා බරපතළ තුවාල ලබා ඇතිබව පෙනී යන බවත්, මේ වසරේ විවිධ ප්‍රදේශවල දින 25 කදී සිදුවූ රිය අනතුරු 147කින් 155 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවත් ඒ මහතා කීය.
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහනවල සියලුම මගීන්ට ආසන පටි සකස් කිරීමට දෙසැම්බර් 14 වැනිදා දක්වා කල් ලබාදුන් බවත්, එම කාලය ඉකුත්වී මාසයකට වඩා ගතවී ඇති නිසා අධිවේගී මාර්ගවල ආසන පටි පරීක්ෂා කිරීම දැඩිකර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.